පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම පිළිබඳ නවතම හෙළිදරව්ව

2015 - 2017 කාලසීමාවේ පර්පචුවෙල් සමාගම අවස්ථා 46,000කදී ගනුදෙනු කර ඇතැයි හෙළිවෙයි

by Staff writer 17-06-2018 | 6:48 PM

COLOMBO (News 1st) - 2015 සිට 2017 දක්වා කාලසීමාවේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අවස්ථා 46,000කදී පමණ ගනුදෙනු සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගනුදෙනු සඳහා යොදාගත් ඇතැම් චෙක්පත් හිමිකරුවන් නොවන පුද්ගලයින්ගේ නම් වලින් මාරු කර ඇති බව ය. එම ගනුදෙනු චෙක්පත් සහ වවුචර් මගින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇතැම් ගනුදෙනු වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් කෙටි අක්ෂර වලින් සඳහන් කර ඇති බවට ද අනාවරණ වී තිබේ. මහ බැංකු අධිපතිවරයා 2016 සිදුකළ පැමිණිල්ලකට අනුව, කළ විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති සභා වාර්තාවේ සියලු ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි, පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත පසුගිය සතියේ යොමු කළ බව ය. ඇමුණුම් ලැබීමෙන් පසු ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග කතානායක කරූ ජයසූරිය මහතා විසින් ගැනීමට නියමිතව ඇති බව, ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් හෙට දින පාර්ලිමේන්තුවට යොමු කිරිමට පියවර ගෙන ඇති බව ය. මහ බැංකු බැඳුම්කර වාර්තාව හෝ එහි ඇමුණුම්වලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද, ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.