ලංකා-කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

ශ්‍රී ලංකා - කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද යි

by Staff writer 17-06-2018 | 7:51 AM

COLOMBO (News 1st) - තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් පැවැත්වේ.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34 කි. ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය වූ ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කිරීම පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද විය. ඒ, තරගයේ දෙවැනි දිනය දක්වා භාවිතා කළ පන්දුව ඊයේ වෙනස් කිරීමට විනිසුරුවරුන් ක්‍රියා කිරීමත් සමගිනි. තරගයේ දෙවන දිනයේ සන්ධ්‍යාවේදී ධනංජය ද සිල්වා විසින් සිය අතේ තිබු බැන්ඩේජ් මත පිරිමැදීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවට සැක මතුවීම හේතුවෙන් විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත. ඉන් පසුව විනිසුරුවරුන් පන්දුව මාරුකිරීමට කටයුතු කර ඇති බව විදේස් වාර්තාවන් හී දැක්විය. කෙසේ වෙතත් පැය දෙකක ප්‍රමාදයකින් පසුව තරගය ආරම්භ කළා. ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 123 කි. බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 300 ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් ලකුණූ 61 ක් රැස් කළ අතර ශේන් ඩෝවිච් ලකුණු 55 කි. පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 86 ට කඩුලු 4 ක් දවා ගත් අතර කසුන් රාජිත ලකුණු 49 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. අනතුරුව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 47 ක් පිටුපසින් සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ ලකුණු 20 ක් රැස් කරගෙන සිටියදීයි. ඊයේ දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි මහේල උඩවත්ත ලකුණු 11 ක් රැස් කරගෙන සිටියේ ය.