තැපැල් සේවකයින් හා බලධාරීන් අතර හෙට සාකච්ඡාවක්

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා බලධාරීන් අතර හෙට සාකච්ඡාවක්

by Staff writer 17-06-2018 | 6:32 AM

COLOMBO (News 1st) - වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා තමන් අතර සාකච්ඡාවක් හෙට පවත්වන බව තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටලු විසඳීම සඳහා මේ වනවිට අමාත්‍යංශ මට්ටමින් මැදිහත්වීම් කර ඇති බවයි. තැපැල් සේවක වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, තම වැඩවර්ජනය අද 7 වැනි දිනටත් ක්‍රියාත්මක බවයි. කිසිදු බලධාරියෙකු තම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ තුනක් හා කටුනායක ගුවන්තොටුපොළේදී විදේශීය තැපැල් මළු 1000 ක් පමණ ගොඩ ගැසි ඇති බව ද චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර වැඩවර්ජනයේ නිරත සියලු කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානය වෙත හැකි ඉක්මනින් වාර්තා කරන්නැයි තැපැල්පතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද ඔහු ප්‍රතිචාර දැක්විය.