චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි

චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි: තරගයෙන් පසු ICCයෙන් විදිමත් කරුණු විමසීමක්

by Staff writer 17-06-2018 | 10:37 PM

COLOMBO (News 1st) - පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්තා කළේය.

මේ අතර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදිමත් කරුණු විමසීමක් පවත්වන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසයි. එම කරුණු විමසීමක් ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව සිදු කරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එම පරීක්ෂණය සඳහා තරගයේ පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට අදාළ දර්ශන භාවිතා කිරීමට නියමිත අතර, එම තරගයේ තීරක, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග අදාළ කරුණු විමසීම සඳහා සහභාගී වීය යුතු බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.