by Staff writer 17-06-2018 | 6:35 PM
COLOMBO (News 1st) - කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීම, රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව පොලීසිය පවසයි.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැපිලියාන ප්‍රදේශයේදී ය .
මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කළ අසේල බණ්ඩාර සහ සෙසු සැකකරුවන් එහිදී අත්අඩංගුවට නෙ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා
ඒ පාරේ නිවසක ඉන්නවා ප්‍රධාන සැකකරුගේ සහොදරියක්. මේ සැකකරුවන් තිදෙනා මේ නිවසට එමින් සිටියදි තමයි මේ අත්තඩංගුවට ගැනිම කළේ මේ නිවුන් සහොදරයො දෙන්නත් මේ වෙඩි තැබීම වනවිට ඒම ස්ථානයට පැමිණි දෙදෙනෙක් මේ සඳහා ආධාර අනුබල දුන් දෙන්නෙක්
වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අද දහවල් කතරගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා
මෙම වෙඩි තැබීම පුද්ගලයින් දෙදෙනකු ගිනි අවි 02 කින් සිදු කරලා තියෙනවා. අත්තඩංගුවට ගැනීමට හැකි වුණා වල්ලි මාතා ගම ප්‍රදේශයේ වාඩියක සැඟවිලා ඉද්දි අත්තඩංගුවට ගනු ලැබුවා. වෙඩි තියපු අනිත් පුද්ගලයා තමයි ගල්වල ගමගේ හසාන් අනුරාධ යන පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ අද දහවල් එම ප්‍රදේශයෙම සැරිසරමින් සිටියදී. මේ වෙනකොට 05 දෙනාම අත්අඩංගුවට අරන් තියෙන්නෙ. මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා ප්‍රධාන සැකකරු මේ කොන්ත්‍රාත්තුව දිලා තියෙන්නෙ රුපියල් ලක්ෂ 30 කට කියලා
තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව සැකකරුවන් අද පස්වරු 1.30 ට පමණ කතරගම පොලීසිය වෙත රැගෙන ආවේය.
සැකකරුවන් තිස්සමහරාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේදී ය .
කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් භික්ෂූන් වහන්සේ නමක් කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 12 වනදා රාත්‍රීයේදී ය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
සිද්ධියෙන් තුවාල ලැබූ , අනික් භික්ෂුන් වහන්සේ තවමත් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු සඳහන් කළේය.