අපේ ක්‍රිකට් පිලට එල්ලවන චෝදනාව ගැන සංගා කතා කරයි

අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ වීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් - කුමාර් සංගක්කාර

by Staff writer 17-06-2018 | 8:11 PM

COLOMBO (News 1st) - පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ ගෞරවය වෙනුවෙන් ‍පෙනී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිතුක් කරමින් සඳහන් කළේය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, දිනේෂ් චන්දිමාල් එම ආයතනය ආචාර ධර්ම පද්ධතියේ නීති උල්ලංඝනය කර ඇති බව ය. නායක දිනේෂ් චන්දිමාල් සිදුකළ බව කියන වරද තහවුරු වන විඩියෝ දර්ශන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙතෙක් මාධ්‍යයට නිකුත් කර නොමැත. නමුත් ටෙස්ට් හෝ එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ හෝ පන්දු රකින්නන්ගේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ එලෙස පන්දුවේ එක් පැත්තක් ඔපදැමීමමයි . එලෙස පන්දුව ඔප දැමීම වරදක් ලෙස සැළකෙන්නේ නැත. සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පිටියට පිවිසිම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු වූයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු යැවීමේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට උත්සහ දරා ඇති බවට විනිසුරුවරුන් කළ විමසීමකි. තරගයේ දෙවන දිනයේ සන්ධ්‍යාවේදී ධනංජය ද සිල්වා විසින් සිය අතේ වෙළුම් පටි මත පිරිමැදීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවට සැක කරමින් විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරීක්ෂා කළ අයුරු රූපවාහිනී තිරයේ දිස්විය. එම සිදුවීමෙස් පසු විනිසුරුවරුන් පසුදින එනම් ඊයේ දිනයේ තරගයට අලුත් පන්දුවක් ලබා දුන්නේය. ඊට විරෝධය පල කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩාගාරයේ රැඳී සිටියේය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරග තීරක ජවගල් ශ්‍රීනාත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් අතර උණුසුම් සාකච්ඡාවක් ඇති විය. ඊයේ තරග ආරම්භය පැය 2ක් පමණ ප්‍රමාද වූ අතර අලීම් ඩාර් සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවන් දෙදෙනා තීරණය කළේ, මෙම ක්‍රියාකාලාපය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඬුවම් වශයෙන් ප්‍රතිවාදී කොදෙව් කණ්ඩායමට අමතර ලකුණු 5 ක් පිරිනැමීමටයි. ඊයේ තරග නිමාවන විට කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 300 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව දිනය නිමාවේදී දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් රැස් කරගෙන සිටියේය. එල්ල වූ චෝදනාවන්ට විරෝධය පල කරමින් තව දුරට ත් සිය කණ්ඩායම තරගයට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැප වී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට චෝදනා එල්ල වුවහොත් ඊට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙනී සිටින බව ද නිවේදනයේ තව දුරට ත් දැක්වේ. මේ සම්බන්ධයෙන් එංගලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවති ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරයට එක් වෙමින් හිටපු නායක කුමර් සංගක්කාර මහතා ද අදහස් පල කළේය. ප්‍රශ්නය - තුන් වැනි දිනයේදී තරගය සඳහා භාවිතා කළ පන්දුව වෙනස් කළා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විරෝධය පල කළ මේ ගැන ඔබ මොකද කියන්නේ? හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර
දකුණු අප්‍රිකාවේ සිදු වුණු සිදුවීමත් එක්ක මම හිතන්නේ හැමෝම ඉක්මණින් කලබලවෙල වෙනවා. මේ සම්බන්ධයෙන් අපි හරියට කතා කළොත් මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන්, නමුත් එයට අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ විය යුතුයි වගේම කියන දේවල් පැහැදිල විය යුතුයි. මේ දර්ශන වලින් පෙනී යන්නේ හැමෝම සිනා මුසු මුහුණින් කතා කරනවා වගේම විනිවිඳ භාවය තහවුරු කරන්න ක්‍රීඩකයා තමන්ගේ අත පවා පෙන්වනවා. කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු සහ කණ්ඩායම් නායකයා මේ සඳහා සම්බන්ධ විය යුතුයි. අපි දර්ශන වලින් දැක්ක ඔවුන් අතර සිදුවුණු කතාබහ. මම දන්නවා හතුරුසිංහ ගැන ඔහු අනිවාර්යෙන්ම තමන්ගේ මතය ඉතාමත් ශක්තිමත්ව ඉදිරිපත් කරන බව. දඬුවම් ලකුණු 5 ක් එකතු කරලා තිබුණානම් තරගයේ ලකුණු තත්ත්වයට බලපානවා. පන්දුවේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා නම් ශ්‍රී ලංකාව එයට කෙසේ වූවාද යන්න සාධාරණීයකරණය කරන්න හේතු පෙන්වන්න ඕනේ, කැමරා දර්ශන භාවිතා කරමින් තරග විනිසුරුවරුන්, මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කර ගැනීමක් ලබා ගත යුතුයි. ඔස්ට්‍රේලියාවේ සිදුවු දේ ඔබ දුටුවා එහිදී පන්දුවේ ස්වභාවය පමණක් නොවේ ඒ සම්බන්ධය ගොඩක් දේවල් සිදු වුණා. මීට වැඩිය දැඩි තීරණ ගන්න තිබුණේ වසර ගණනාවකට කලින්, මේ සම්බන්ධයෙන් ඉතාමත් සාධාරණ ලෙස ඇහුම්කන් දෙන්න, හැමදෙනාම කියන දේ අහන්න, ඒ තුළින් නිවැරදි තීරණයකට එළැඹෙන්න‍
ආගන්තුක විචාරකයෙකු ලෙස නිව්ස්ෆස්ට් වෙනුවෙන් කොදෙව්හී සිට තොරතුරු ගෙන එන ජ්‍යෙෂ්ඨ නිතීඥ ගෝමීන් දයාශ්‍රී මහතා පැවසුවේ තමන් ස්වෙච්චාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නීතිමය උපදෙස් ලබා දීමට සුදානම් බව ය. මුදලට තරග පාවාදීම අවස්ථා කිහිපයකදී සිදුවිය හැකිය. * ක්‍රීඩකයින් විසින් තරග පාවාදීම * විනිසුරුවන් විසිනි තරග පාවාදීම * තණතිලි සකසන්නන් විසින් තරග පාවාදීම එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කරන්නේ නම් ඒ, සම්බන්ධයෙන් විධිමත් සාක්ෂි සහිත ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු වේ.