අතිරික්ත සේවක වැටුප් ගෙවීම් වගකීම ආයතන ප්‍රධානීන්ට

අතිරික්ත සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වගකිව යුතුයි - මුදල් අමාත්‍යාංශය

by Staff writer 17-06-2018 | 2:15 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැරව සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් සහ ගණකාධිවරුන් වගකීම භාරගත යුතු බව රජය තීරණය කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පුර්ණයෙන් රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්, නිශ්චිත කාලය තුළ ගෙවීම ද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම වන බවයි. මේ වනවිට 7500 කට අධික සේවක පිරිසක් රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට අමතරව විවිධ රැකියාවල නිරතව සිටින බවට වාර්තා වන බව ද මුදල් අමාත්‍යාංශය පවසා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය සේවයේ ජ්‍යේෂ්ඨ විධායක මට්ටමේ තනතුරුවල වැඩි පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවත් තනතුරේ උසස්වීම් ලැබීම සඳහා අවශ්‍ය වන සේවා කාලය සම්පුර්ණ කර ඇති නිලධාරීන්ගේ ප්‍රමාණය සීමිතවීම මෙයට ප්‍රධාන හේතුව බවයි. රාජ්‍ය අංශයේ සංවර්ධන නිලධාරී සේවයේ අනුමත තනතුරු 74, 872 ක් තිබෙන අතර දැනට 18,000 කට ආසන්න තනතුරු සංඛ්‍යාවක් පුරප්පාඩුව පවති. එහෙත් ඇතැම් ආයතනවල සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුබද්ධ වැඩ පැවරුමක් සිදුකර නොමැති බව ද කාර්ය මණ්ඩල සමාලෝචනයේදී නිරික්ෂණය වූ බව මුදල් අමාත්‍යාංශය පැවසීය.