(News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 3 වැනි දිනය සඳහා ආරම්භ කිරීම පැය 2කට අධික කාලයක් ප්‍රමාද විය.
ඒ, තරගයේ දෙවැනි දිනය දක්වා භාවිත කළ පන්දුව අද වෙනස් කිරීමට විනිසුරුවරුන් ක්රියාකිරීමත් සමග ය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරග තීරක ජවගල් ශ්‍රීනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් අතර උණුසුම් සාකච්ඡාවක් ඇති වී තිබේ.
තරගයේ දෙවන දිනයේ සන්ධ්‍යාවේදී ධනංජය ද සිල්වා විසින් සිය අතේ තිබූ බැන්ඩේජ් මත පිරිමැදීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ දරා ඇති බවට සැක මතුවීම හේතුවෙන් විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් ඉන් පසුව විනිසුරුවරුන් පන්දුව මාරු කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.
මෙහිදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී නොමැති අතර අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුව මාරු කිරීමට විරෝධය දක්වමින් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළහ.
තරග තීරකවරයා, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටි විවේකාගාරයට ගොස් ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
