වනජීවීන්ට අද අත්ව ඇති ඉරණම‍

වනජීවීන්ට අද අත්ව ඇති ඉරණම‍

by Staff writer 16-06-2018 | 7:11 PM
COLOMBO (News 1st) - ජානාධිපතිවරයා විසින් ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඉවත් නොකරන ලෙසට තමන්ට උපදෙස් ලබා නොදුන් බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අද පෙරවරුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමිනි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය "මම ඊයේ උදේ ඉඳලා එනකොට ජනාධිපතිතුමාට කතා කළා. මං මේ ප්‍රශ්නය කිව්වා. ජනාධිපතිතුමා මගෙන් එක ප්‍රශ්නයයි ඇහුවේ. පශූ වෛද්‍යවරු කියනවා අලි දෙන්නා හොරොව්පතානට ගිහින් දැම්මොත් දේශගුණය බලපායි කියලා. මං එතුමාට කිව්වා අපි මාස දෙක තුනකට ගෙනියන්නේ. සිංහරාජයේම හදනවා අක්කර 50ක විතර කෑම බීම එක්ක තැනක්. ඊළඟට මං කිව්වා එහේ හිටියොත් අලි දෙන්නා මාස තුනකටත් කලින් හක්කපටස් එක්ක හරි බැඳපු තුවක්කුවක් හරි පත්තුවෙයි. එහෙම් වුණොත් අලි දෙන්නාගේ ජීවිතවලට කවුරුවත් වගකියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මගේ හිතවත් මගේ බලු පැටියට එහෙම ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරයා මාර්ගයෙන් කොළඹ ඉන්න පශු වෛද්‍යවරු දෙන්නෙක් කතා කර ගත්තා. ඒ අය මේ වැඩේට යන්න ඉදිරිපත් වුණා" ප්‍රශ්නය - "නන්දන අතපත්තු දූෂිතයි කියලා තමා කියන්නේ. වනජීවී අමාත්‍යංශය යටතේ පශු වෛද්‍යවරුන් සිටිත්දී ඒ අයගෙන් සේවය ලබා ගන්නේ නැතුව නන්දන අතපත්තුගෙන් සේවය ලබා ගන්න තීරණය කළේ ඇයි එතුමාට කීයක් ගෙවනවා ද?" පිළිතුර -" නන්දන අතපත්තු ඇතුළු කණ්ඩායම මේක කරනවා කිව්වාට පස්සේ අපේ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරු ඒ අයගේ වැඩ වර්ජනය නැවැත්තුවා. දැන් ඒ අය ඉදිරිපත් වෙලා ඉන්නවා කරන්නම් කියලා. දැන් වැඩේ ලේසියි. මුදල් හදල් අපි කතා කළේ නැහැ" ප්‍රශ්නය - "සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. සිංහරාජයෙන් ඒ අලි ඉවත් කළොත් ලොක උරුම කැටගරි එකෙන් අයින් වෙනවා. ඒකට මොකද කරන්නේ?" පිළිතුර - "සිංහරාජය කැටගරිවලින් ඉවත් වෙන්න කලින් මට යුනේස්කෝවේ පොරොන්දුවක් දෙනවා නම් අලි මැරෙන්නේ නැහැ මේ අලි දෙන්නාට ජීවිත ආරක්ෂාව තියෙනවා වගකීමක් දෙනවා නම් සිංහරාජය අවට නැවත මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් මං ලෝක උරුමය කියන කතාව පිළිගන්නවා. ඒ පොරොන්දුව දෙන්නේ නැත්නම් අපිට ඒ අය කියන දේ පිළිගන්න බැහැ" ඌව සහ දකුණු පළාත භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ, 22ගෙන් සමන්විත කණ්ඩායමක් තවදුරටත් සිංහරාජ වනාන්තරයේ රැඳී සිටින බව ය. අලි දෙදෙනා සැරි සරන ප්‍රදේශ හා එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කෙරෙන අතර අලි දෙදෙනා මේ වන විට සිංහරාජ රක්ෂිතයට මායිම්ව තිබෙන බෝධියතැන්න ප්‍රදේශයේ රැඳී සිටින බව ද ඔහු පැවසුවේ ය.