පොලීසිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර බස් රථයක් තුළදී ඇති වූ ගැටුම

by Staff writer 16-06-2018 | 8:50 PM
COLOMBO (News 1st) - පොලීසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර අද බස් රථයක් තුළදී ඇති වූ ගැටුමක් අතරතුර ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට කදුරුවෙල බලා ධාවනය වූ බස් රථයක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව පොළොන්නරුව විශේෂ වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හබරණ ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී තිබේ. පොලීසිය පැවසුවේ, එහිදී පොලිස් නිලධාරියෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතර පොර බැදීමක් ඇති වූ බව ය. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තුවාල ලබා තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් පැකට් 10ක් සොයා ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. තුවාල ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අනෙක් සැකකරු මේ වන විට පොලිස් භාරයේ සිටින බව ය.