ඉස්ලාම් බැතිමත්හූ රාමසාන් සමරති

පරිත්‍යාගයට මුල්තැන දෙමින් ඉස්ලාම් බැතිමත්හූ රාමසාන් සමරති

by Staff writer 16-06-2018 | 7:43 AM

COLOMBO (News 1st) - ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය ‍අදට යෙදී තිබේ.

ඉස්ලාම් දින දර්ශනයට අනුව ෂවුවාල් මාසයේ නව සඳ ඊයේ දැකීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය රාමසාන් දින සැමරුම අද පැවැත්වීමට තීරණය කළේය. ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරන්නේ මාසයක උපවාසයකින් අනතුරුවයි. මේ අතර රාමසාන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා පැවසුවේ ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගය, සාමය හා ගෞරවය මුල් කර ගත් රාමසාන් උත්සවය මුළු මහත් ලෝකයටම උතුම් පණිවුඩයක් ලබාදෙන බව ය. ලෝක ප්‍රජාව කෙරෙහී සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කර ගනිමින් සහන ශීලි ජීවන රටාවක් නිර්මාණය කරගත හැක්කේ, අන්‍යයන් කෙරෙහී සංවේදීවීම තුළින් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා රාමසාන් දිනයේදී සමස්ත ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සිය සුබ පැතුම් පල කළේය. තමන් තුළ පවත්නා දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වයේ හා පරිත්‍යාගශීලිත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් මහත් පන්නරයක් ලබාදෙන බව අග්‍රමාත්‍යවරයා නිකුත් කළ රාමසාන් දින සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. මෙය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම නව ජීවන් දැක්මක් ලබාදෙන වටිනාආගමික පිලිවෙතක් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේය.