ජය පැරදුමෙන් තොර වූ පෘතුගාල හා ස්පාඤ්ඤ පාපන්දු සටන

ජය පැරදුමෙන් තොරව අවසන් වූ පෘතුගාල හා ස්පාඤ්ඤ පාපන්දු සටන

by Staff writer 16-06-2018 | 8:32 AM

(News 1st) - 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩයේ පෘතුගාලය හා ස්පාඤ්ඤ කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන දිනය සනිටුහන් කරමින් ඊයේ දිනයේදී තරග තුනක් පැවැත්විය. ඒ, ඊජිප්තුව හා උරුගුවේ කණ්ඩායම අතර ත්, මොරොක්කෝව හා ඉරානය අතරත් සහ පෘතුගාලය හා ස්පාඤ්ඤය කණ්ඩායම් අතරයි. දිනයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝගේ නායකත්වයෙන් යුතු පෘතුගාල පාපන්දු කණ්ඩායමත් දියේගෝ කොස්ටාගේ නායකත්වයෙන් යුත් ස්පාඤ්ඤ කණ්ඩායම අතර තරගයයි. තරගය රුසියාවේ සෝචිහීදී පැවැත්විය. 78,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගැනිණි . තරගයේ පළමු අර්ධයේ සිව්වන මිනිත්තුවේදී පෘතුගාලය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් මත ක්‍රියාත්මකවූ පෘතුගාල නායක ක්‍රිස්ටියානු රොනාල්ඩෝ තරගයේ පළමු ගෝලය රැස් කිරීමට සමත්විය. ඒ අනුව ක්‍රියාත්මකවූ ප්‍රතිවාදී ස්පාඤ්ඤය පළමු අර්ධයේ 24 වන මිනිත්තුවේදී ගෝලයක් රැස් කළේය. සෝචිහී ෆිෂ්ට් ක්‍රීඩාංගණය උණුසුම් කරමින් පැවති තරගයේ පළමු අර්ධය නිමාවට පත් වනවාත් සමගින් 44 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කර ගැනීමට පෘතුගාලය සමත්විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වූයේ ගෝල 2 ට 1 ක් ලෙසින් පෘතුගාල කණ්ඩායම තරගයේ පෙරමුණේ පසුවෙමිනි. ආක්‍රමණශිලී තරග රටාවක නිරතවෙමින් තරගයේ 55 වන හා 58 වන මිනිත්තුවලදී නැවතත් ක්‍රියාත්මකවූ ස්පාඤ්ඤය තවත් ගෝල දෙකක් රැස් කර ගත්තේය. සමස්ත තරගය පුරා විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කළ පෘතුගාලය දෙවන අර්ධය ද නිමාවට පත්වීම සදහා මිනිත්තු දෙකක් තිබියදී තවත් ගෝලයක් රැස් කරගැනීමට සමත්විය. ඒ අනුව සමස්ත තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූයේ ගෝල 3 බැගින් රැස් කරගනිමින් දෙපිලම සම තත්ත්වයේ පසුවෙමිනි. තරගයේ වීරයාට හිමි සම්මානය පෘතුගාලය වෙනුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හිමි කර ගත්තේය . මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ සත්කාරකත්වයෙන් නගර 11 ක ක්‍රීඩාංගණ 12 ක පැවැත්වේ. මේ අතර ඊජිප්තුව හා උරුගුවේ කණ්ඩායම් අතර පැවති උරුගුව ගෝල 1 - 0ක් ලෙස ජය වාර්තා කළේය. මොරොක්කෝව සමග පැවති තරගයෙන් ගෝල 1 - 0 ක් ලෙස ජය ගැනීමට ඉරානය සමත් විය.