සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම් අඛණ්ඩව

සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව ඇමති සරත් ෆොන්සේකා කියයි

by Staff writer 15-06-2018 | 12:34 PM
COLOMBO (News 1st) - සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම වන අලි දෙදෙනා රක්ෂිතයේ ම රඳවා තබන ලෙසට තමාට හෝ නිලධාරීන්ට කිසිදු නියෝගයක් නොලැබුණු බව ය. සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා විධිමත් ක්‍රමවේදයකින් තීරණයක් ගන්නා තුරු තවදුරටත් එම රක්ෂිතයේ ම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේ ය. එහෙත් ඒ සම්බන්ධයෙන් තමාට උපදෙස් නොලැබීම හේතුවෙන් ජනාධිපතිතුමා සමග අද ඒ පිළිබඳව සාකච්ඡා කළ බව සරත් ෆොන්සේකා මහතා පවසයි. වන අලි දෙදෙනා අල්ලා හොරොව්පතාන රක්ෂිතයට තාවකාලිකව මුදා හැරීමට ජනාධිපතිතුමා එහිදී අනුමැතිය දුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේ අලි දෙදෙනාගේ සහ එම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා තාවකාලිකව මෙම පියවර අනුගමනය කරන බව ය. සිංහරාජය තුළ අක්කර 50ක පමණ ආරක්ෂාකාරී භූමියක් කොටු කර යළි එම අලි දෙදෙනාව සිංහරාජ රක්ෂිතයට ගෙන එන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් වන අලි දෙදෙනා හොරොව්පතාන රක්ෂිතයට මුදා හැරීම සම්බන්ධයෙන් පරිසරවේදීහු තවදුරටත් සිය විරෝධය පළ කරති. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරයේ මේ වන විට දිවි ගෙවන්නේ මෙම වන අලි දෙදෙනා පමණි. එම අලි තෙත් කලාපීය පරිසර පද්ධතිවලට හුරුවූවන් ය. එම වන අලි ඉන් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය ද වනජීවී අමාත්‍යංශයෙන් කරුණු විමසා තිබේ. ඒ සම්බන්ධයෙන් ද නිව්ස්ෆස්ට් තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, සිංහරාජ රක්ෂිතයෙන් අලි දෙදෙනාව ඉවත් කිරීම සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය සිය විරෝධය පළ කරමින් ලිපියක් යොමු කර ඇති බව ය. කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන්නේ අලි දෙදෙනාගේ සහ මිනිසුන්ගේ ජීවිතවල ආරක්ෂාව පිළිබඳව සලකා බලා මෙම පියවර ගන්නා බව ය.