රුසියාවෙන් ලෝක වාර්තාවක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියාවෙන් ලෝක වාර්තාවක්

by Staff writer 15-06-2018 | 9:48 AM
(News 1st) - 1934 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයක් වැඩි ම ගෝල පරතරයකින් ජය ගත් සත්කාරක කණ්ඩායම ලෙස රුසියාව ඉතිහාසයට එක් වෙයි. ඒ, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගය ගෝල 5ට 0ක් ලෙස විශිෂ්ට ලෙස ජය ගනිමිනි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ මොස්කව්හිදී අති උත්කර්ෂවත් ලෙස ඊයේ ආරම්භ විය. 78000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ලුස්නිකි ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී සත්කාරක රුසියාවේ ප්‍රතිවාදීන් වූයේ සෞදි අරාබිය යි. තරගය ආරම්භයේ සිටම සත්කාරක රුසියාවෙන් ඉහළ දක්ෂතා දක්නට ලැබිණි. ඔවුන් ගෝල රැස් කිරීම ආරම්භ කළේ, තරගයේ 12 වන මිනිත්තුවේදී ය. ඒ අනුව රුසියානු කණ්ඩායමේ යූරි ගසින්ස්කි මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ගෝලයක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් විය. තරගයේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 2කට පෙර රුසියාව සිය දෙවැනි ගෝලය ද වාර්තා කළේ ය. එම ගෝලය වාර්තා කළේ චබුසොෆ්. සෞදි අරාබියට පළමු අර්ධයේදී ගෝල රැස් කිරීමට නොහැකි විය. තරගයේ දෙවැනි අර්ධය තරගකාරී ස්වභාවයක් ගත් නමුත් රුසියාව 71 වන මිනිත්තුවේදී සිය 3 වන ගෝලය වාර්තා කළේ ය. ඔවුන් තම සිව් වැනි සහ 5 වැනි ගෝල වාර්තා කළේ, තරගයේ ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේදී ය. රුසියාවෙන් එල්ල වූ අභියෝගය හමුවේ සෞදි අරාබියට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විණි. රුසියාව වෙනුවෙන් චබුසොෆ් මෙම තරගයේදී ගෝල 2ක් වාර්තා කළේ ය. ඒ අනුව සත්කාරක රුසියාව තරගය ජය ගත්තේ, ගෝල 5ට 0ක් ලෙස යි. 1934 වසරේදී සත්කාරක ඉතාලිය හමුවේ අමෙරිකාව ගෝල 7ට 1ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී සත්කාරක කණ්ඩායමක් ඉහළ ම ගෝල පරතරයකින් තරගයක් ජය ගත් පළමු අවස්ථාව මෙය වේ.