නජීබ් රසාක්ට නඩු පැවරීමේ සූදානමක්

නජීබ් රසාක්ට නඩු පැවරීමේ සූදානමක්

by Staff writer 15-06-2018 | 1:46 PM
(News 1st) - මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මුදල් විශුද්ධිකරණය හා රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා මත නඩු පැවරීමට එරට විමර්ශකයින් සූදානම් වේ. ඔහුට එරෙහි චෝදනාව වන්නේ එම්.ඩී.බී. නමැති රාජ්‍ය අරමුදලින් මුදල් අවභාවිත කිරීම ය. එම අරමුදලෙන් ඩොලර් මිලියන ගණනක මුදල් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ගිණුම්වලට බැර කළ බවට වාර්තා පළව තිබේ. කෙසේ වෙතත් නජීබ් රසාක් තමාට එරෙහිව එල්ල වන චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේ ය. මලයාසියානු නව අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් කියා සිටියේ, අදාළ රාජ්‍ය අරමුදලෙන් සොරාගත් මුදල් යළි අය කර ගැනීමට කටයුතු කරන බව ය. වගකිවයුතු පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන බව ද මහාතීර් මොහොමඩ් අවධාරණය කළේ ය. මලයාසියානු නව නීතිපති ටොමී තෝමස් කියා සිටියේ, අපරාධ හා සිවිල් විධාන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යයනය කරමින් සිටින බව ය. එම චෝදනාවට වරදකරු වන අයෙකුට මලයාසියාවේ නීතිය අනුව වසර 5ක උපරිමයක් දක්වා සිර දඬුවම්, දඩ මුදල් හා කස පහර ලබා දිය හැකි ය. කෙසේ වෙතත් වයස අවුරුදු 50ට වඩා වැඩි පුද්ගලයින්ට කස පහර ලබා නොදෙනු ඇති.