තැපැල් සේවක වර්ජනය 5 වන දිනටත්

තැපැල් සේවක වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 13ක් ගොඩගැසෙයි

by Staff writer 15-06-2018 | 6:34 AM
COLOMBO (News 1st) - තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 5ක්. මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 13ක ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට වාර්තා වේ. තැපැල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ, වර්ජනය හේතුවෙන් සියලු තැපැල් කාර්යාල වසා දමා ඇති බව ය. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙතෙක් රජය තම ගැටලු විසඳීමට මැදිහත් නොවීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය. බඳවා ගැනීමේ පටිපාටියට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනය ආරම්භ කළේ, සඳුදා පස්වරුවේ සිට ය. මේ සම්බන්ධයෙන් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති පත්‍රිකාව සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයක් ලැබීමට නියමිත බව ය.