අන්තර්ජාලයේ බොරු ප්‍රවෘත්ති හඳුනාගන්නේ කෙසේද?

අන්තර්ජාලයේ හුවමාරු වන බොරු ප්‍රවෘත්ති (Fake News) හඳුනාගන්නේ කෙසේද?

by Staff writer 15-06-2018 | 7:30 PM

COLOMBO (News 1st) - බොරු ප්‍රවෘත්ති හෙවත් Fake News යනු ලෝකය පුරා මේ වනවිට බොහෝ දෙනෙකු අවධානය යොමු කරන සහ බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්කරන කරුණක්. නීති රීති සහ සම්ප්‍රදාය නිසාම පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය කලාව තුල එතරම්ම බොරු ප්‍රවෘත්ති ප්‍රචාරණයක් සිදු නොවූවත්, වර්තමානයේ ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය හරහා බොරු පුවත් ඉතා සීඝ්‍රයෙන් හුවමාරු වනවා. ඒ හරහා ජීවිත හානි පවා සිදුවී ඇති අතර ලෝකයේ දේශපාලන සහ ආර්ථික රටාවට ඉන් ඇතිවුණ බලපෑමත් ඉතා විශාලයි.

බොරු ප්‍රවෘත්ති යනු? බොරු පුවතක් යනු කිසියම් හෝ කූඨ අරමුණක් සහිතව, හිතා මතාම කරුණු විකෘති කරමින් හෝ මවා පාමින් මූලාශ්‍ර රහිතව පළ කරන පුවතක්. බොරු පුවත් පළ කරන්නේ ඇයි? බොරු පුවත් පළකරන්නාට විවිධ අරමුණු තිබිය හැකියි. සමහර විටක බොහෝ දුරදිග සිතා බලා යම් ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙම පුවත් පළකරන්න යම් පාර්ශවයක් කටයුතු කල හැකියි. එසේම පුද්ගලයෙකුගේ හෝ ආයතනයක කිර්තිනාමය විනාශ කිරීමට ද බොරු පුවත් යොදාගත හැකියි. කිසිස්දු සැලසුමකින් තොරව සමාජයට වැරදි තොරතුරක් ලබාදී පොදු ජනතාව රැවටෙන අයුරු දෙස බලා සතුටු වීමේ මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට වුවත් ව්‍යාජ පුවත්/ බොරු පුවත් පළ කල හැකියි. බොරු පුවත් වල විකාශණය මානව ශිෂ්ඨාචාරය තරම්ම දුර ඉතිහාසයකට උරුමකම් කියන අතර පළමුවන සියවසේදී මාර්ක් ඇන්තනී නම් වූ රෝමානු දේශපාලකයා සියදිවි නසාගැනීමට හේතුවද ඔහු පිළිබඳ පැතිරුණු වැරදි ආරංචියක් බවයි වාර්තා වන්නේ. ව්‍යාජ පුවත් හදුනා ගන්නේ කෙසේද? බොරු පුවත් හදුනා ගැනීමට නම් ඔබට යම් ප්‍රමාණයක බුද්ධියක් මෙන්ම ලෝක ස්වභාවය ගැන අවබෝධයක් තිබිය යුතුයි. බැලූ බැල්මට සාමාන්‍ය පුද්ගලයෙකුට නම් බොරුවක් බව හැගී යන බොහෝ පුවත්, ජායාරූප හෝ වීඩියෝ දර්ශණ දුටු සැනින් ඇත්තක් සේ සළකා හුවමාරු කරගන්නා අය අපේ සමාජයේ ඉතා සුලභයි. 2016 වසරේදී ඇමරිකානු ජනාධිපතිවර්ණ සමයේදී කල සමීක්ෂණය්කදි හෙලිවී තිබෙන්නේ ජනාධිපතිවරණය පිළිබඳ බොරු පුවත් 20ක් ඒ පිළිබඳව පළ කල නිවැරදි පුවත් 20කට වඩා වැඩි ජනතා අවධානයක් දිනාගෙන ඇති බවයි. ශ්‍රි ලංකාවේදී මෙම තත්වය වඩාත් දරුණුයි. නිවැරදි කරුණු මත පදනම්ව ලියූ විශ්ස්වාසනීය පුවත් කිසිවෙකුටත් ආශ්වාදයක් ගෙන එන්නේ නෑ. නමුත් ව්‍යාජ පුවත් සමාජය ඉතා ඉක්මනින් තිගැස්මකට ලක්කරන අතර පුවතක නිරවද්‍යතාවය හදුනා ගැනීමට නොහැකි තරමු අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයින්ට එයින් තමන්ගේ ජාතිවාදී, ආගම්වාදී සහ සමහරක් පරිභෝජනවාදී හැගීම් ඉක්මනින්ම දෙගුණ තෙගුණ වනවා. ව්‍යාජ පුවත් පළකරන්නන්ගේ අරමුණත් එයයි. පුස්තකාල සංගම්වල ලෝක සම්මේලනය ( International Federation of Library Associations and Institutions - IFLA) විසින් ව්‍යාජ පුවත් හදුනා ගැනීම සඳහා මහජනතාව අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව සරළ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. බොරු පුවතක් හදුනාගැනීම සදහා පහත සදහන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. 1. මූලාශ්‍රය සොයන්න. 2. සිරස්තලය පමණක් නොව මුලු පුවතම කියවන්න. 3. පුවත් රචකයා හෝ වාර්තා කරු පිළිබඳව සොයන්න. 4. පුවත සනාථ කරන බාහිර මූලාශ්‍ර කෙරෙහිද අවධානය යොමු කරන්න. 5. පුවත පළකල දිනය බලන්න. 6. එය විහිලුවක්ද යන්න තහවුරු කරගන්න. 7. එම පුවත නිසා ඔබේ සිතුවිලි වලට ඇතිවූ බලපෑම ගැන නැවත සිතන්න. 8. පුවත පිළිබඳව වැඩි අවබෝධයක් සහිත පාර්ශවයකින් විමසන්න. ව්‍යාජ පුවත් නිසා සිදුවූ බරපතළ හානි පිළිබඳව උදාහරණ ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් ඇති අතර මේ වන විට නිදහස්ව තොරතුරු ගලා යන සමාජයක ජීවත් වන අපගේ ජීවිත වලට එල්ල කරන බලපෑම ඉතා ප්‍රභලයි. පසුගිය දශකයේදී ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය වල සීඝ්‍ර ව්‍යාප්තිය නිසා සහ එම මාධ්‍ය වල තොරතුරු ගලා යාමට කිසිදු නියාමනයක් නොමැති නිසාත් මෙම බොරු/ ව්‍යාජ පුවත් අර්බුදය උග්‍ර වී තිබෙනවා. ෆේස්බුක් සමාගම මේ වනවිට මෙම ව්‍යාජ පුවත් හදුනාගනිමින් ඒවා පැතිරයාම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන අපද ඉතා ඉක්මනින්ම බොරු ප්‍රචාරයන්ට රැවටෙන සුලු ජාතියක්. බොහෝ විට ඉතා සාමකාමීව විසදාගත හැකිව තිබූ සුලු සුලු ජනවාර්ගික සහ ආගමික ගැටලූන් බොරු ප්‍රචාරයන් හරහා විශාල සමාජ අර්බුදයන් බවට පත්වූ අවස්ථා ශ්‍රී ලංකා ඉතිහාසයේ සුලභයි. මෙම ලිපියේ අරමුණ ඔබ වඩාත් අවබෝධයෙන් යූතු මිනිසෙකු ලෙස නිදහසේ තොරතුරු සංසරණය වන මෙම යුගයේදී කල්පනාකාරීව කටයුතු කිරීමට පෙළඹවීමයි. එම නිසා මින් මතුවට සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිසි පිරික්සීමකින් තොරව කිසිදු පුවතක් එකිනෙකා අතර හුවමාරු කිරීමට දායකත්වය දක්වන්න එපා. ඔබේ අවබෝධය අපේ රට මීට වඩා සුන්දර කිරීමට බොහෝ දායකත්වයක් දක්වනු ඇත.