2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹෙයි

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹෙයි

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹෙයි

කර්තෘ Staff writer

14 Jun, 2018 | 8:45 am

COLOMBO (News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රුසියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වනු ඇත.

ලොව පුරා කළාප 6 කින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් 32 ක් එක් කුසලානයක් වෙනුවෙන් අද තරග බිමට පිවිසීමට නියමිත වේ.

සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය වෙනුවෙන් ලොව පුරා පාපන්දු ලෝලීන් පසුවන්නේ නොඉවසිල්ලෙනි.

ලබන මස 15 වන දා අවසන් වන තරගාවලිය රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12 කදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් ය.

ස්පාර්ටක්, ඔට්ක්රිටි, ක්‍රෙස්ටෝව්ස් කයි, ෆිශ්ට් ඔලිම්පික්, සාමාරා, කාසන්, රොස්ටොව්, වොල්ගෝග්‍රැඩ්, නිශ්නි, සැරන්ස්ක්, යෙකටරින්බර්ග් හා කැලිනින්ග්‍රැඩ් යන ක්‍රීඩාංගණවල තරග පැවැත් වේ.

මූලික වටයේදී කාණ්ඩ 8 ක් යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියට නව තාක්ෂණික උපක්‍රම රැසක් ද යොදාගෙන තිබෙන්නේ රුසියාවේ ආධිපත්‍ය ලොවට කියා පාමිනි.

වීඩීයෝ පුනරූපණ තාක්ෂණය මෙන්ම තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින්ගේ පිළිබඳ තොරතුරු විනිසුරුවරුන්ට දැන ගැනීම සඳහා අධිසංවේදී තාක්ෂණික උපකරණ යොදා ගැනීමට ද මෙවර සැලසුම් කර තිබේ.

අද ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට රුසියාව සතියකට පමණ ඉහතදී සූදානමින් සිටි අතර එම තරගාවලියට සමගාමීව විශේෂ සංගීත ප්‍රසංගයක් ඊයේ දිනයේදී සංවිධානය කර තිබුනේ, රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ ප්‍රධානත්වයෙන් ය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ ද මෙම අවස්ථාවට සහභාගී විය.

ලෝක කිරුළ දිනාගන්නා රටේ නම එම රටවල ජාතික භාෂාවෙන් කුසලානයේ යටිපතුලෙහි, සටහන කිරීම එදා පටන් පැවත ආ සම්ප්‍රදායකි.

පසුගිය වස වත්මන් ලෝක ශූර ජර්මනිය එම අවස්ථාව උදා කරගත් අතර මෙවර එම අවස්ථාව කවුරුන් උදා කර ගන්නේ ද යන්න පිළිබඳ ලෝකයේ පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට යොමුව තිබේ.

කෙසේ වෙතත් මේ රන් කුසලානයේ සටහන් කිරීමට ඉඩ ඇත්තේ, තව ත් රටවල් තුනක නම් පමණි.

ඒ හේතුවෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලි ශත සංවත්සරය යෙදෙන 2030 වසරේදී නව කුසලානයක් හඳුන්වාදීමට මේ වනවිට සංවිධායකයන්ගේ අවධානය යොමු ව තිබේ.

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතර මොස්කව්හිදී පැවැත් වේ.

එම තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8.30 ට ආරම්භවීමට නියමිත අතර ඊට පෙර විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට නියමිතය.