සිංහරාජ අලි රක්ෂිතයෙන් ඉවත් කරන්න එපා

"සිංහරාජ අලි රක්ෂිතයෙන් ඉවත් කරන්න එපා''- ජනපති

by Staff writer 14-06-2018 | 6:25 PM

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ඝනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේ ම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ එම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම්, ඒ පිළිබඳව විශේෂඥ දැනුමැති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙසයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙරට අලි සම්පත රැක ගැනීම සඳහා එම සතුන්ට අයත් භූමිය තුළ ම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි. එම අලි දෙදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන බාධා වැළැක්වීමට ඒ ආශ්‍රිත අලිවැට ඉදි කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ය.