ශ්‍රීලංකන් ගැන ජනපති කොමිසමේදී තවත් සුවිශේෂී හෙළිදරව්වක්

by Sagarika Chathumali 14-06-2018 | 8:30 PM

ශ්‍රීලංකන්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද තවත් සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණ විය.

ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කැප්ටන් රුවන් විතානගේ මහතා අද කොමිසමේදී සඳහන් කළේ, 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රීලංකන් ගුවන් සමාග‍මේ සේවක සංඛ්‍යාව 5594 දෙනෙකුගේ සිට 7021 දෙනෙකු දක්වා ශීඝ්‍රයෙන් වැඩි වූ බවයි. ඊට සාපේක්ෂව සේවකයින්ගේ වියදම් ද වැඩි වූ බව කැප්ටන් රුවන් විතානගේ මහතා කොමිසමේදී සඳහන් කළේ ය. ඒ අනුව 2014 සිට 2015 දක්වා සේවක වියදම රුපියල් බිලියන 2 .5 කින් ද 2015 සිට 2016 දක්වා රුපියල් බිලියන 2 .3 කින් ද ඉහළ ගොස් තිබේ. 2016 සිට 2017 දක්වා රුපියල් බිලියන 2කින් සේවක වියදම් වැඩි වී ඇති බව ද මෙහිදී අනාවරණ විය. මෙලෙස සේවක වියදම් වැඩී වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සමාගම , විශාල අදායමක් උපයන අවස්ථාවක නොවන බව ද ගුවන් නියමු සංසදයේ සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සුදුසුකම් ලත් නියමුවන් සමාගමේ කටයුතු නොකිරීම නිසා නියමුවන් සඳහා වාර්ෂික නිවාඩු ද නොලැබුණු බවයි. ඊ - ටොප්ස් සහතිකය නැතිවීම හරහා මේ වන විට ගුවන් යානා වක්‍රාරයෙන් තම ගමානන්තය දක්වා ගමන් කළ යුතු අතර ඉන් අධික වියදමක් හා වැඩි කාලයක් සමාගමට දැරීමට සිදුවන බව ද කැප්ටන් රුවන් විතානගේ මහතා මෙහීදි පෙන්වා දුන්නේ ය. ඔහු වැඩිදුරට් කියා සිටියේ දුර්වල පරිපාලන කටයුතු නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියා සතුව අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී පියවරක් ගැනීමට වගකීමක් තිබූ බවයි. ඊ - ටොප්ස් සහතිකය නැතිවීම නිසා මේ වන විට ඒ 320 හා ඒ 321 ගුවන් යානා 6ක් ගමනාන්ත දක්වා වක්‍රාකාරව ගමන් කිරීමට සිදුව ඇති බව ද කොමිසමේදී අනාවරණ විය. https://www.youtube.com/watch?v=Zo93CEnPmkg