තැපැල් වර්ජනය තවදුරටත්...

තැපැල් වර්ජනය තවදුරටත්...

by Staff writer 14-06-2018 | 6:53 AM

COLOMBO (News 1st) - තැපැල් සේවක වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බව තැපැල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇති බවය. ‍තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ පස්වරුව වනවිට ලිපි ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසා ඇත. පසුගිය සඳුදා ආරම්භ කළ තැපැල් වෘත්තිය සමිති ව්‍යාපාරයට ඊයේ තව ත් වෘත්තීය සමිතියක් එක් ව තිබේ. ඒ, තැපැල් හා විදුලි සංදේ‍ශ නිලධාරීන්ගේ සංගමයයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා පැවසුවේ, බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කරන තෙක් වැඩ වර්ජනයේ නිරත වන බවයි. මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි තේරීම් කවුළුව, ලිපි ගොඩ ගැසීම් කවුළු ආදි සියලුම කවුළු වසා ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය. මේ සම්බන්ධයෙන්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. ඒ හලීම් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ලබන අඟහරුවාදා අවසන් තීරණයකට ලැබීමට නියමිත බවයි. සේවයට වාර්තා කරන තැපැල් සේවකයින් සඳහා කිසිදු බාධාවකින් තොරව කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසාදී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.