ජීවිත 7ක් බිලිගත් ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සිතාමතා සිදුකළ අනතුරක් ද?

by Sagarika Chathumali 14-06-2018 | 8:55 PM
පසුගිය පෙබරවාරි මස 14 වන දා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි අයිතිකරු සහ පුද්ගලයින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීම වාර්තාවී මාස 4 ක් සම්පූර්ණ වන අද දින තම මියගිය ඥාතීන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සාමකාමී විරෝධතාවක් පැවැත්විණ. ගොඩනැගිල්ලේ අයිතිකරු වන තහිර් අබ්බාස් ගුලාම් හුසේන් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ගොඩනැගිල්ලට ඇතළු වන අයුරු දැකවෙන දර්ශන CCTV කැමරාවක සටහන්ව තිබේ. ග්‍රෑන්ඩ්පාස් බාබාපුල්ලි මාවතේ පිහිටි කුළුබඩු හා තේ කොළ අපනයන කරන පෞද්ගලික සමාගකට අයත් මෙම ගබඩා සංකීර්ණය මතට ඒ අසල ඇති ගොඩනැගිල්ලක තාප්පයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ. එදින එම අනතුරින් ආයතනයේ හිමිකරු වූ තහිර් අබ්බාස් ගුලාම් හුසේන් මහතා ඇතුළු සේවකයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් සේවකයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු විය. අද එම ස්ථානයේදී මියගිය සේවකයින්ගේ ඥාතීහු හා සේවකයෝ ආයතනය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවූහ. 2017 වසරේ ජුනි 9 වන දා මෙම පරිශ්‍රයේදී මෙම ව්‍යාපාරයට සම්බන්ධ එක් පාර්ශවකරුවෙකු මෙන්ම කොටස්කරුවෙකු වන ශබීර් අබ්බාස් ගුලාම්හුසේන් මහතා සිය කාර්යාලයේදී ජීවිතක්ෂයට පත්විය. ඉන් හරියටම මාස 8 කට පසුව ඔහුගේ සොහොයුරු තහීර් අබ්බාස් ගුලාම්හුසේන් මියයන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලට මැදිවීමෙනි. මේ මරණ පිළිබඳව මේ වනවිට පවුලේ ඥාතීන් සැක පළ කරන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටුකර දෙන ලෙසයි. https://www.youtube.com/watch?v=EdU0ZNIZWRc