කිරිවෙහෙර විහාරාධිපතිහිමිට වෙඩි තැබූ සැකකරුවන් තවමත් නිදැල්ලේ

by Sagarika Chathumali 14-06-2018 | 7:03 PM

COLOMBO (News 1st) : කතරගම කිරිවෙහෙර රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ නිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ඉලක්ක කර වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වූයේ, පෙරේදා රාත්‍රී 10.45ට පමණයි. ජිප් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විහාරාධිපති හිමියන්ට හා තවත් හිමිනමකට වෙඩි තබා පලා ගොස් තිබිණ. කිරිවෙහෙර පුදබිමේ ඇති මහසෙන් දේවාලයේ , හිටපු කපුමහතාගේ සැලසුමක් අනුව , මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදි හෙළි වූයේ වෙඩි තැබීම සඳහා භාවිත කළ වාහනය ද එම පුද්ගලයාට අයත් එකක් බවයි. ඊයේ රාත්‍රිය වනතුරුම සැකකරුවන්ගෙන් ප්‍ර‍ශ්න කළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. එහෙත් ඊයේ දිනය තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ ජීප් රථය සිය භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර නොතිබිණ. ජීප් රථය පොලිස් භාරයට ගැනුණේ ද අද උදෑසනයි. මෙම සිද්ධියේ ප්‍ර‍ධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇති කතරගම මහසෙන් දේවාලයේ හිටපු කපුමහතා වන අසේල බණ්ඩාර නමැත්තා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ. කතරගම පොලිසීය සඳහන් කළේ , සෙසු සැකතරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍ර‍ධාන සැකකරුගේ සොහොයුරෙකු බවයි. අනෙක් පුද්ගලයා මහසෙන් දේවාලයේ සහායකයකු ලෙස සේවය කළ අයෙකි. ඔවුන් දෙදෙනාගෙන් අඛණ්ඩව ප්‍ර‍ශ්න කරන බව පැවසුණ ද අද පස්වරුව වනවිටත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොතිබිණ. පූජනීය කතරගම කිරිවෙහෙර පුදබිමේදී සංඝයා වහන්සේ දෙනමකට ප්‍ර‍සිද්ධියේ වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගෙන තිබියදී ත්, සිද්ධිය සිදුවී පැය 48 ක් ගෙවී ගොස් තිබීයදී ත්, එක් සැකකරුවෙකු හෝ තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. ගිනිඅවි සහිතව අපරාධයක් සිදුකිරීමට පැමිණි පිරිසක් ප්‍ර‍සිද්ධ සිද්ධස්ථානයක් වෙත පැදවූ ජීප් රථය එක් පොලිස් මුරපොළකින් හෝ පරීක්ෂාවට ලක්නොවීම ද සැකය දනවන කරුණකි. කෙසේ වෙතත්, පුදබිමේ පිවිසුම් දොරටු හතරේ යොදවා ඇති ආරක්ෂාව ප්‍ර‍මාණවත් නොමැති බව කිරිවෙහෙර ආශ්‍රිත විහාරස්ථානවල භිකෂූන් වහන්සේ ප්‍රකාශ කළේ ය. වෙඩි ප්‍ර‍හාරයට ලක්වූ කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලබති. රෝහල් ප්‍ර‍කාශකයෙකු පැවසුවේ , උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ , අනෙක් භික්ෂුන් වහන්සේ තවමත් හම්බන්තොට මහරෝහලේ ප්‍ර‍තිකාර ලබන බව අප වාර්තාකරු පැවසී ය. https://www.youtube.com/watch?v=A7EGMMtqzjE