අමෙරිකාවෙන් උ. කොරියාවට ඉඟියක්

"උ. කොරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන්නෙ නැහැ'' - අමෙරිකාව

by Sagarika Chathumali 14-06-2018 | 6:02 PM

උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික අවිහරණය කළ බවට සපත කරන තුරු එරටට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් නොකරන බව අමෙරිකාව අවධාරණය කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ බව අවධාරණය කර ඇත්තේ, දකුණු කොරියාවේ සෝල් නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු කොරියානු සහ ජපාන රාජ්‍ය ලේකම්වරුන් ද සහභාගී වී ඇත. රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය දා පැවති ඓතිහාසික හමුවෙන් දිනකට පසුවයි. පසුගිය සමයේ දැඩි ප්‍රතිවාදීන් ලෙස වාග් සංග්‍රාමවල නිරත වූ අමෙරිකා - උතුරු කොරියා නායක දෙපළ පසුගිය 12 වනදා සිංගප්පූරුවේදී මුහුණට මුහුණ හමුවීමෙන් පසු නව දෙරට අතර සබඳතාවක් ගොඩ නගා ගැනීම සඳහා වන ගිවිසුමකට ද එළැඹිණ. සිංගප්පූරු හමුවෙන් පසු රාජ්‍ය ලේකම්වරයා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ, හමුව පිළිබඳව සිය කලාපීය මිතුරු රටවල් දැනුවත් කිරීම සඳහායි. රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේදී  වැඩිදුරටත් පවසා ඇත්තේ, 12 වන දා හමුව දෙරටේ සබඳතා නව සබඳතාවක් වෙනුවෙන් වූ හැරවුම් ලක්ෂයක් බවයි.