ශ්‍රීලංකන් අර්බුදය විමසන කොමිසමේ තවත් අනාවරණයන්

ශ්‍රීලංකන් අර්බුදය පිළිබඳ විමසන ජනපති කොමිසම හමුවේ තවත් අනාවරණයන්

by Staff writer 13-06-2018 | 9:01 PM

COLOMBO (News 1st) - ගිවිසුම්වලට පටහැනිව කටයුතු කිරීමට එරෙහිව,මිහින් එයාර් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට බලපෑමක් එල්ලවී තිබුනේදැයි පරීක්ෂා කරන ලෙස ජනාධිපති කොමිසම විමර්ශන නිලධාරීන්ට දන්වා තිබේ.

ශ්‍රීලංකන්, මිහින් ලංකා සහ ශ්‍රීලංකන් කේටරින් යන සමාගම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නේ ආයෝජන මණ්ඩලයේ ආයෝජන අධ්‍යක්ෂවරයායි. මිහින් ලංකා ආයතන දිගින් දිගටම පාඩු ලබද්දී ඒ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ මෙහෙයුම් හා සුපරීක්ෂණ දෙපාර්තමේන්තු පියවර නොගැනීම සමබන්ධයෙන් කොමිසමේ අවධානයට ලක් විය. කොමිසමේදී අනාවරණ වූයේ, 2012 සිට 2018 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මිහින් ලංකා ආයතනයට රුපියල් මිලියන 385.314ක බදු සහන ලබාදී ඇති බවයි. ඊට ආනයන තීරු ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බදු, එකතු කළ අගය මත බදු, නිෂ්පාදන බදු, සෙස් බදු සහ වරාය හා ගුවන්තොටුපොළ බදු ඇතුළත් ය. එමෙන්ම බදු සහන ඇතිව, මිහින් ලංකා ආයතනය රුපියල් මිලියන 40 ක වටිනාකමකින් යුත් භාණ්ඩ, සැපයුම්කරුට යළි ලබාදීමේ පදනම මත ආනයන කර ඇත. ඊට අමතර ශ්‍රීලංකන් ගුවන් සමාගම 2012 සිට 2015 දක්වා රුපියල් බිලියන 254 කුත් 2015- 2018 දක්වා තව ත් රුපියල් බිලියන 307කුත් භාණ්ඩ ආනයනයේදී බදු සහන ලෙස ලබා ඇති බව කොමිසමේදී අනාවරණ විය. 2012 සිට 2018 දක්වා ශ්‍රී ලංකා කේටරින් ආයතනයට රුපියල් බිලියන 5 ක් බදු සහන ලබාදී ඇති බව ද මෙහිදී අනාවරණ වූ තව ත් කරුණකි.