නීතිවිරෝධී රූපවාහිනි විකාශ තහනම් කරන්නැයි ඉල්ලීමක්

නීතිවිරෝධී කේබල් රූපවාහිනි විකාශයන් තහනම් කරන්නැයි පැමිණිලි

by Staff writer 13-06-2018 | 10:07 PM

COLOMBO (News 1st) - නීති විරෝධි කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අද ඉල්ලීමක් කර තිබේ.

ලියාපදිංචි නොකළ අනවසර කේබල් රූපවාහිනි සේවාවන් පවත්වාගෙන යන ආයතන, ලිපින සහ දුරකතන අංක අතුලත් ලේඛනයක් ද වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවට අද භාර දුන්නේ ය. එම ලේඛනයට අනුව යාපනය දිස්ත්‍රික්කයේ එවැනි නීති විරෝධි කේබල් රූපවාහිනි සේවා 18 ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 4 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් 2 ක් සහ කඳුරට ප්‍රදේශවල තව ත් සේවා ස්ථාන 13 ක් ඇති බව සඳහන් ය. යාපනය දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත කේබල් රූපවාහිනි රැහැන් හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව නිව්ස්ෆස්ට් පසුගිය දිනවල වාර්තා කළේ ය. ඉන් එක් සිදුවීමක් පසුගිය 23 වන දා යාපනය නෙල්ලි අඩි ප්‍රදේශයෙන් වාර්තා වූ අතර වඩමාරච්ච් උතුර ප්‍රදේශයෙන් ද පසුගිය කාලයේ ජීවිත 04 ක් අහිමි විය.