කිරිවෙහෙර විහාරාධිපති හිමි කොළඹට

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍ර‍තිකාර සඳහා කොළඹට

by Staff writer 13-06-2018 | 11:15 AM

COLOMBO (News 1st) - වෙඩි ප්‍ර‍හාරයකට ලක්වී තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අද වැඩිදුර ප්‍ර‍තිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙනවිත් තිබේ.

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වෙඩි ප්‍ර‍හාරයට ලක් ව තිබුණේ ඊයේ රාත්‍රී 10.45 ට පමණ ය. විහාරාධිපති හිමියන් තව ත් හිමිනමක් සමග කිරිවෙහෙර වැඳපුදාගෙන නැවත විහාර පිවිසුමට පැමිණෙමින් සිටි අවස්ථවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි. පොලීසය සැකකෙරෙන්නේ, විහාර පිවිසුමේ පියගැට පෙළ අසළදී ධම්මින්ද හිමියන් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍ර‍හාරය, අවම වශයෙන් එම ස්ථානයට යාර 30 ක වත් දුරින් එල්ල කළ එකක් බවයි. තුවාල ලැබූ හිමිවරුන් පළමුව දෙබරවැව ‍රෝහලටත් ඉන්පසුව හම්බන්තොට මහ රෝහලටත් ඇතුළත් කෙරිණි. එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලැබූ කිරිවෙහෙර රජ මහා විහාරාධිපති හිමියන්, වැඩිදුර ප්‍ර‍තිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගුවනින් රැගෙන එනු ලැබීය. හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසුවේ, තුවාල ලැබු අනෙක් හිමිනමගේ තත්ත්වය බරපතළ නොවන බවයි. මුහුණු ආවරණය කරගෙන රතුපැහැති ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. පොලීසිය පැවසුවේ, විහාර පියගැට පෙළ ආසන්නයේ හිමිනමගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද එය තහවුරු කර ඇති බවයි. සැකකරුවන් ලුහුබැඳ ගිය ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී නොමැත. ජීප් රථයේ අංකය සටහන් කරගත් ඔවුන් එය පොලීසියට ලබාදීමෙන් අනතුරුව ආරම්භ කළ විමර්ශනවලදී විහාරස්ථානයට පිටුපස මැණික් ගඟ ඉවුරේ නිවසක තිබී ජීප් රථය සොයා ගැනිණි. එය කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුමහතාට අයත් ජීප් රථයක් බව තහවුරු කරගත් පොලීසිය ඒ අනූව විමර්ශන ඉදිරියට ගෙන ගියේ ය. එහිදී අනාවරණ කරගත් තොරතුරු අනූව, මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැකකරන්නේ, මීට වසරකට පමණ පෙර මහසෙන් දේවාලයේ කපු මහතා ලෙස සේවය කළ පුද්ගලයා සහ ඔහුගේ සහාකයින් දෙදෙනෙකි. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, 2014 වසරේ දී කොබවක ධම්මින්ද හිමියන් කිරිවෙහෙර විහාරාධිපති තනතුරට පත් වූ පසු කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් කපුමහතා සමග ගැටලුවක් ඇති කරගෙන ඇති බවයි. වසරකට පමණ පෙර එහි අයිතිය අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙරට පවරාගෙන ඇති අතර මහසෙන් දේවාලයට නව කපුමහතෙකු පත්කර ඇත.