කිරිවෙහෙරේ  විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්

UPDATE: කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 13-06-2018 | 6:18 AM
COLOMBO (News 1st)  UPDATE: කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයා ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ විමර්ශනයට පොලිස්පති නියමයෙන් කණ්ඩායම් 8ක් පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ----------------------------------------------------------------------------------------------------------------------------------------- නාදුනන තුවක්කුකරුවන් කළ වෙඩි තැබීමකින් කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් හිමිනමක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, කිරිවෙහෙර පුද බිමේදී ඊයේ රාත්‍රී 11.00ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව ය. තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා අනෙක් හිමිනම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තැබීමට තුවක්කුකරුවන් තුන් දෙනෙකු පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් මෝටර් රථයකින් පළා ගොස් තිබේ. කිරිවෙහෙර නායක හිමියන් හා අනෙක් හිමිනම කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී වෙඩි තැබීම කර ඇති බව පරීක්ෂණවලදි හෙළිවූ බව පොලීසිය සඳහන් කළේ ය. මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.