ලබන මස සිට නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට

ලබන මස සිට නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට

by Staff writer 12-06-2018 | 6:13 PM

COLOMBO (News 1st) - ලබන මස සිට අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

සුපිරි ඩිසල් හා ඔක්ටේන් 95 පෙට්‍රල් වෙනුවට මෙම ඉන්ධන විශේෂය හඳුන්වාදෙන අතර EURO 4 නමින් එම ඉන්ධන වර්ගය හඳුන්වා දෙන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ ය. එය පරිසර හිතකාමි ඉන්ධන විශේෂයක් බව ද ලේකම්වරයා සඳහන් කර තිබේ. මෙට්‍රික් ටොන් 15,000 ක නෞකාවක් ලබන මාසයේ මෙරටට ළඟාවීමට නියමිත වේ. ඩිසල් සහ පෙට්‍රල් නව ඉන්ධන විශේෂයෙන් හඳුන්වාදීමට නියමිත ය. ඔහු සඳහන් කළේ, දැනට මෙරට භාවිත කරන ඉන්ධන මගින් පරිසරයට හානි කරන වායුන් පිට වන බවයි. හඳුන්වාදෙන ඉන්ධන විශේෂයෙන් පරිසරයට හානි කරන අපද්‍රව්‍ය පිටවීම අවම වන බව ලේකම්වරයා සඳහන් කළේ ය. යුරෝපා කොමිසම විසින් එම ඉන්ධන විශේෂය භාවිතා කරන ලෙස ඉල්ලීමක් කර ඇත. පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව සියලු වාහන සඳහා එම ඉන්ධන භාවිතා කර හැකියි. දැනට වෙළෙඳපොළේ භාවිත කරන ඉන්ධන නතර කිරීමට අදහසක් නොමැති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.