ඓතිහාසික හමුවෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය අමතයි

ඓතිහාසික හමුවෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය අමතයි

by Sagarika Chathumali 12-06-2018 | 6:11 AM

2.15 PM : ඓතිහාසික හමුවෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය අමතයි

තමා උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිංගප්පූරුවේදී අද පෙරවරුවේ පැවති ඓතිහාසික හමුවෙන් අනතුරුව මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමිනි. මේ අතර අමෙරිකාවේ සංචරයක නිරත වන ලෙස තමා කළ ආරධනය උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පිළිගත් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. කොරියානු අර්ධද්වීපය පූර්ණ වශයෙන් න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟත්වය පළකරමින් එම ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් න්‍යෂ්ටික අවි හරණයට උතුරු කොරියාව එකඟ වී ඇතිදැයි ජනපති ට්‍රම්ප් ගෙන් මාධ්‍ය විමසූ විට කියා සිටියේ එම ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන බවයි .

____________________________________________________________

11.30 AM :  ඓතිහාසික හමුවෙන් පසු උ. කොරියානු නායකයා පිටව යයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඓතිහාසික සාකච්ඡාවෙන් අනතුරුව උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. පැය  5කට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුව නායක දෙපළ ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තබා ඇති අතර කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ආනාවරණය වී නොමැත. _____________________________________________________________________________

11.00 AM :  ගිනිගත් දෙරටේ නායක දෙපළ එක ම කෑම මේසයේ

ලෝක දේශපාලනය උණුසුම් කරමින් පසුගිය සමයේ වාග් සංග්‍රාමවල නිරත වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ආමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට එකම මේසයේ දිවා ආහාරය ගනිමින් සිටිති. කෙසේ වෙතත් මෙම දිවා භෝජන සංග්‍රහය අතරතුරද දෙරටේ නායකයන් සහ නිලධාරීන් සාකච්ජා පවත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඔවුන්ගේ මෙම දිවා භෝජන සංග්‍රහය , බටහිර සහ කොරියානු ආහාර දෙවර්ගයෙන්ම සමන්විත බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම ආහාර වේල , අලිපේර සලාද , ඌරු මස් ,  ඉස්සන් , ඔයිසන් නැමති පිරවූ පිපිඤ්ඤා අඩංගු කොරියානු ආහාරයක් , වැනිලා අයිස් ක්‍රීම් වැනි දෙයින් සමන්විත වනු ඇති. තව ද සිංගප්පූරු වේලාවෙන් පස්වරු 4ට අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් ඇමතීමට නියමිත ය. ____________________________________________________________________________

7.55 AM :  

උන් - ට්‍රම්ප් පෞද්ගලික සාකච්ඡා අවසන්

පෞද්ගලික සාකච්ඡා අවසන් වීමෙන් පසු උතුරු කොරියා සහ අමෙරිකානු ඉහළ පෙළ නිලධාරීන් සහභාගීත්වයෙන් යුත් දෙරටේ සාකච්ඡා ආරම්භ වී තිබේ. සාකච්ඡා අතරතුර උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ, අභියෝග රැසක් පැවතිය ද තමා මෙය කිරීමට සූදානමින් පසුවන බවයි. උතුරු කොරියානු නායකයාගේ පාර්ශ්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ උප සභාපති කිම් යොං චෝල් ද  සහභාගී වී සිටී. ඔහු එක් අවස්ථාවකදී මෙම ඓතිහාසික හමුව අවිනිශ්චිත තත්ත්වයකට වැටී තිබූ මොහොතේ උතුරු කොරියානු නායකයා පෞද්ගලික ලිපිය රැගෙන ගොස් අමෙරිකානු ජනාධිපතිවරයා හමු වූ උතුරු කොරියානු නියෝජිතයා ය. අවිනිශ්ත තත්ත්වක තිබූ සාකච්ඡා සැලසුම් කළ පරිදි ම යළි පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දුන්නේ, ඉන් අනතුරුවයි. මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පවසන්නේ, ඊයේ රාත්‍රිය තමාට නිදි වර්ජිත රාත්‍රීයක් වූ බවයි. ___________________________________________________________________

6.55 AM :  ලෝක දේශපාලනය නව පිටුවක් පෙරළමින් උතුරු කොරියා - අමෙරිකා සාකච්ඡා ඇරඹෙයි

උතුරු කොරියා - අමෙරිකා නායකයින් අතර ඓතිහාසික හමුව මේ වනවිට ආරම්භ වී තිබේ. සාකච්ඡාවේ මුල් විනාඩි 40 තුළ භාෂා පරිවර්තකයින් දෙදෙනා සමග නායක දෙපළ පමණක් සිටිනු ඇති. ඉන් අනතුරුව සෙසු උපදේශකයින් වැඩිදුර සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති.

________________________________________________________

6.50 AM :  "සාකච්ඡා අතිශයින්ම සාර්ථක වේවි" - ට්‍රම්ප්

උතුරු කොරියානු - අමෙරිකා නායක දෙපළ පළමු වරට මුහුණ හමුවීමෙන් පසු මේ වනවිට අදහස් පළ කරමින් සිටිති. අමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය අමතමින් පවසන්නේ, ඓතිහාසික හමුව අතිශය සාර්ථක වනු ඇති බවයි. මේ අතර උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ, සිංගප්පූරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට බාධා තිබූ බවයි.

6.35 AM :   ට්‍රම්ප් - උන් පළමුවරට හමුවෙයි

සමුළුව පැවැත්වෙන හෝටලයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පළමු වරට හමුවෙයි. _____________________________________________________________________________

6.30 AM :  ආමරිකානු නායකයා සමුළු භූමියට පැමිණෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඓතිහාසික හමුව පැවැත්වෙන හෝටලයට ළඟා වී තිබේ. _______________________________________________________________________________

6.20 AM : උතුරු කොරියා නායකයා සමුළු භූමියට පැමිණෙයි

උතුරු කොරියානු නායකයා ඓතිහාසික සමුළුව පැවැත්වෙන සෙන්තෝසා දිවයිනේ කැපෙලා හෝටලයට පැමිණ තිබේ. _______________________________________________________________________________ 6.15 AM : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර ඓතිහාසික හමුව මෙරට වේලාවන් පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම හමුව පැවැත්වෙන්නේ සාමය සහ ශාන්තිය නමති අරුත ගත් සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදීයි. අමෙරිකානු ජනාධිපතිවරයකු උතුරු කොරියානු නායකයකු හමුවන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙහිදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීම සහ සාම ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා මත පළ වේ. අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා හමුවන පළමු විනාඩි 45 තුළ භාෂා පරිවර්තකයන් දෙදෙනෙකු හැරෙන්නට දෙරටේ වෙනත් කිසිදු රාජ්‍ය නිලධාරියකු සහභාගී නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන් පසුව ද්වීපාර්ශ්වික සාකච්ජා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ , ධවල මන්දිර කාර්යමණ්ඩල ප්‍රධානීයා මෙන්ම ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශකවරයාද සහභාගී වනු ඇති . හමුව ආරම්භවීමට පැය කිහිපයකට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, තමන් අපේක්ෂා කලාට වඩා යහපත් සහ කඩිනම් ලෙස අමෙරිකානු , උතුරු කොරියානු රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ජා පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් විචාරකයන් පෙන්වා දෙන්නේ පූර්ණ න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් දෙරටේ නායකයන් දරන අදහස්වල විෂමතා පවතින බවයි . අමෙරිකාව , උතුරු කොරියාව පූර්ණ න්‍යෂ්ටික අවි හරණයක් කරා ළඟා වෙනු දකිනු කැමති වුවත් එවැනි යෝජනාවකට එකඟ වීමට නම් තමන්ට පැනවු ආර්ථික සම්බාධක ඉවත්කිරීමට වඩා වැඩි යමක් උතුරු කොරියාව අපේක්ෂා කරනු ඇතැයි දේශපාලන විචාරකයන් මත පළ කළේ ය. මේ අතර ඊයේ රාතියේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සිංගප්පූරුවේ වීදි සංචාරයක ද නිරත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරුවේ සංවර්ධිත ආර්ථිකයෙන් පැහැදීමට ලක්වූ උතුරු කොරියානු නායකයා , එරටින් ඉගෙනීමට සහ අත්දැකීමට තමන්ට බොහෝ දේ ඇතැයි ප්‍රකාශ කළ බවයි . වීදී වලට රැස්වූ සිංගප්පූරු ජනතාව කිම් මහත්මයානෙනි , අපි ඔබට ආදරෙයි යනුවෙන් පවසමින් ජයඝෝෂා නැගූ බව ද විදෙස් මාද්‍ය වාර්තාවල සඳහන් ය. උතුරු කොරියානු නායකයාගේ මෙම සිංගප්පූරු සංචාරය , උතුරු කොරියානු මාධ්‍ය නාලිකාවලද සජීවීව විකාශය කෙරුණු අතර එය අසාමාන්‍ය සිදුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කලා . මේ අතර අවශ්‍ය වුවහොත් , අමෙරිකාව සහ උතුරු කොරියානු නායකයන් අතර න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ජා සඳහා මැදිහත් වීමට සුදානම් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටාරෙස් පැවසී ය. ධවල මන්දිරය ප්‍රකාශ කළේ, සාකච්ජා අවසන් කිරීමෙන් පසු අද මෙරට වේලාවෙන් පස්වරු 5. 30 ට ජනපති ට්‍රම්ප් යළි අමෙරිකාව බලා පිටත්වනු ඇති බවයි .