ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා යළිත් රිමාන්ඩ්

ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා යළිත් රිමාන්ඩ්

by Staff writer 12-06-2018 | 1:00 PM
COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 8 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණි නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එදින නියෝගක් නිකුත් කළේ ය. එදින අලුයම පොලීසිය විසින් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගනු ලැබුවේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඒ, රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ය. යශෝධ පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙක් තුවාල ලැබූහ. එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පැවසී ය. අනතුර සිදු වූ අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් කළ කැබ් රථයේ තිබී කඩුවක් ද සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.