ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට

by Staff writer 11-06-2018 | 7:52 AM
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 226 කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක් වන්නේ දෙරට අතර වසර 15 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළ සිව්වැනි තරගය ලෙසයි. තරගය ට්‍රින්ඩෑඩ්හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව කොදෙව් ක්‍රීඩකයින් සිය පළමු ඉණිම අත්හිටවූවේ පන්දුවාර 154 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 414 ක් රැස් කරගෙන සිටියදීයි. ශේන් ඩොර්විච් සිය ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 125 ක් රැස් කළේ ය. ශායි හෝප් ලකුණු 44ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 95 ට කඩුළු 4 ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව සිය පළමු ඉණිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 185 ක් පමණි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 44 ක් රැස් කල අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 31 ක් රැස් කළහ. පන්දු යැවීමේදී මිගෙල් කමින්ස් කඩුළු 3ක් දවා ගත්තේ ය. කොදෙව් කණ්ඩායමට ඉණිමක ජයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අත්හරිමින් නැවතත් සිය දෙවන ඉණිම සදහා පිටියට පිවිසි කොදෙව්වන සිය දෙවන ඉණිම අත්හිටවූවේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කරගෙන සිටියදීයි. සිය ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කළ කිරන් පෙවල් ලකුණු 88 ක් රැස් කළේ ය. පළමු ඉණිමේ මෙන්ම දෙවන ඉණිමේදී දක්ෂතා දැක්වූ ළහිරු කුමාර කඩුළු 3ක් දවා ගත්තේ ය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 453 කි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් රැස් කළේ ය. එය ඔහු ආසියාවෙන් පිටතදී රැස් කළ පළමු ශතකයයි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 31 ක් රැස් කළේ ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය. ශ්‍රී ලංකා ඉණිමේ අවසන් කඩුළු 5 බිද වැටුණේ, ලකුණු 31 තුළදීයි. පන්දු යැවීමේදී රොස්ටන් චේස් කඩුලු 4 ක් දවා ගත් අතර දෙවේන්ද්‍ර බිෂෝ කඩුළු 3 ක් දවා ගත්තේ ය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා සිට 18 වැනි දා දක්වා බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.