කුඩා මූල්‍ය සමාගම් හා අවිධිමත් ණය ගැනීම් නිසා ග්‍රාමීය ආර්ථිකය අවදානමක

by Staff writer 11-06-2018 | 8:58 PM

COLOMBO (News 1st) - මඩකලපුව, මාවඩි වෙම්බු ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණයක් ඊයේ (10) සිය දිවි නසා ගත්තේ ය.

ඒ, තමන් ලබාගෙන තිබු ණය මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්වීම හේතුවෙනි. මඩකලපුව, මාවඩි වෙම්බු ප්‍රදේශයේදී ජීවත් වූ මේහ රාසා යෝහ රාසා සිමෙන්ති ගඩොල් නිෂ්පාදනයක් පවත්වාගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. ඔහු මේ සඳහා ආයතන ගණනාවකින් ණය ලබාගෙන තිබු බව බිරිඳ පැවසුවා ය. අද වන විට දිවයිනේ බොහෝ සුළු පරිමාන ව්‍යාපාරිකයින් තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩි වශයෙන් යොමුවී ඇත්තේ පොලියට මුදල් ලබාගැනීම වැනි අවිධිමත් ක්‍රම වෙතයි. එවැනි පසුබිමක් නිර්මාණයවී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව අප විමසා බැලුවෙමු. මෙවැනි ඉහළ පොලියකට මුදල් ලබාගෙන ව්‍යාපාරයක් කිරීමේදී එම ණය පියවීමට නම් ණය පොලියට වැඩි ලාභ ප්‍රතිශතයක් ඉපයිය යුතු වේ. එසේ කිරීම ප්‍රායෝගික නොවීම තුළ මෙලෙස අනවබෝධයෙන් ණය ලබාගන්නා පුද්ලයින් ණය ආපසු ගෙවාගත නොහැකිව ණය උගුලක සිරවීම අනිවාර්යකි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක,
අද අපේ රටේ මේ ණය බර හේතුකොටගෙන 2017 අවුරුද්දේ 195 ක් සියදිවි හානි කරගෙන තිබෙනවා. මම තමුන්නාසේට පෙන්නනම් මේ ණය කොයිතරම් අසාධාරණ ණය ක්‍රමවේදයක් ද කියලා. විශේෂයෙන්ම දැන් යනවා කුඩා ග්‍රාමීය ණය යෝජනා ක්‍රම ලෝන් එක දෙනවා ලක්ෂයක් ඊට පස්සේ ඊට පස්සේ ගෙවීම් කරන්න ඔනේ 2500 ගානේ මාස 50 ක් සාමාන්‍ය ග්‍රමීය ජනතාව හිතනවා ලක්ෂයක් එකවර හම්බවුණා මේක තමන්ට වගාවක් හරි කරගන්න පුලුවන් මාසේකට රුපියල් 2500 ගානේ තමයි දෙන්නේ දවස් දෙකක් කුලිවැඩක් කළත් 2500 හොයාගන්න පුලුවන්. බැලු බැල්ලමට සහනයි වගේ හැබැවි මොකද්ද වෙලා තියෙන්නේ. මේ පොලි අනුපාතය 47.47% යි. දැන් ග්‍රාමීය ජනතාව විශාල ලෙස මේ ශුද්‍ර මූල්‍ය ජාවරම්කරුවන්ගේ උගුල් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ අද වතු ක්ෂෙත්‍රයේ පවුල්වල අය 73 % ක් නිල වශයෙන් ණයයි. මං මේ කියන්නේ කඩෙට ණය එක පොලි මුදලාලිට ණය එක නෙවෙයි. මේ ලියාපදිංචි කරන ලද ආයතනවලින් ණය අරන් තිවෙයනවා. ග්‍රාමීය වශයෙන් ගත්තොත් 61% යි නාගරික වශයෙන් ගත්තොත් 61% යි. නාගරික 49% යි. ඒ නිසා අද අපේ රට රට විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවත් මේ ණය උගුලේ සිරකරුවන් බවට පත්වෙලා තියෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර,
එතුමා කියපු බොහෝ කාරනා එක්ක මමත් එකඟ වෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ පොලි කාක්කන් ශූද්‍ර මූල්‍ය සමාගම් ඇතිකරපු තත්ත්වය ඇත්ත වශයෙන්ම ඛේද ජනකයි. අර කිව්වා වගේ අර කිව්වා වගේ මෑතකදීත් යාපනයේ කාන්තාන් දෙන්නෙක් සියදිවි නසාගත්තා මේක ගෙවාගන්න බැරුව එහෙම නැත්නම් තරුණ කාන්තාවන් නම් ගෙවාගන්න බැරිවුනාම මේ කොම්පැණිවල නිලධාරීන් නියෝජිතයන් ගිහිල්ලා ලිංගික අල්ලස් පවා ගන්න තත්ත්වයක් පවා ඇතිවෙලා තියෙනවා. මහ බැංකුවේ නිලධාරීන් එක්ක භාණ්ඩාගාරයේ නිලධාරීන් එක්ක මෙයට ක්ෂණික හා දීර්ඝ කාලීන විසඳුමක් සොයන්නට ඕනේ. මයික්‍රෝ ෆිනෑන්ස් කොම්පැණිවලට අහුවෙච්ච කාන්තාවන්ට අපි මේ මාසය ඇතුළත විශේෂ සහනයක් ජුනි මාසේ 22 වෙනි දා අපි ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් එක් ලක්ෂ පනස් දහසට වඩා අඩුවෙන් මේ වගේ මයික්‍රෝ ෆිනෑස් කොම්පැණිවලින් ණය ගත්තු අයගේ ණය පොලිය අපි කපා හැරලා ඒ පොලිය රජය දරා ගන්නවා
එක්සත් ජනතා නිහස් සන්ධානයේ පා.ම, වාසුදේව නානායක්කාර,
අර එන්ටප්‍රයිස් ලංකා කියලා වැඩ පිළිවෙළක් ගැන ගිය අයවැයේදී අහන්න ලැබුණා. එකේ කියන්නේ ඇපයක් නැතුව ණය දෙනවා කියන එක. එකේ වටිනාකමක් තියෙනවා නමුත් තාමත් අපි එබදු ණය දෙනකම් බලන් ඉන්නවා. මීට ඉස්සෙල්ලා අයවැය ලේඛනයක ඒ වගේ රං අස්වැන්න වගේ ණය ක්‍රම ගණනාවක් කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ මිනිස්සුන්ට ඇපකරයක් හා අපකරුවෙක් නැතුව ණය දෙන්න නමුත් එවා එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරිවුණා ඇයි එවා ඔක්කොම නීති ප්‍රශ්නවල හිරවෙලා තිබුණා.
ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙවැනි ජනතාව වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ඇති කළ රාජ්‍ය මූල්‍ය ආයතන පවා අද වන විට එම අරමුණුවලින් බැහැරව කටයුතු කරණ බවයි.