ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්: මෙන්ඩිස් ශතකය අභියස

ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්: කුසල් මෙන්ඩිස් ශතකය අභියස

by Staff writer 10-06-2018 | 7:27 AM

COLOMBO (News 1st) - තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 453 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 53 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 176 කි. තරගය සිව්වන දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් රැස් කරගෙන සිටියේය. කිරෙන් පවෙල් සිය ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කරමින් දැවී ගියේ ලකුණු 88 ක් රැස් කරගෙන සිටියදී ය. නායක ජේසන් හෝල්ඩර් ලකුණු 39ක් ලබා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටවූයේ පන්දුවාර 72 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කරගෙන සිටියදී ය. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත් අතර රංගන හේරත් ලකුණු 52 ට කඩුලු 2ක් දවා ගත්තේය. ඒ, අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 453කි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 12 ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරා දැවී ගිය අතර නායක දිනේෂ් චන්දිමාල් අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණේ ලකුණු 12 ක් රැස් කරගෙන සිටියදී ය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 ක් රැස් කළේය. නොදැවී කඩුල්ලේ රැදි සිටින කුසල් මෙන්ඩිස් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94කි. දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා කඩුලු 7 ක් අතැතිව ලකුණු 277 ක් පිටුපසින් සිටී.