කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ලංකාවට පදක්කම් 9 ක්

ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාව පදක්කම් 9 ක්

by Staff writer 10-06-2018 | 10:01 PM

COLOMBO (News 1st) - අද අවසන් වූ ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 4 ක් සමගින් පදක්කම් 9 ක් දිනා ගෙන තිබේ.

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු කණිෂ්ඨ තරගාවලියකදී ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙයයි. මීටර් 400×4 ය සහය දිවීමේ ඉසව්වේ අහිමිව තිබූ ශ්‍රී ලංකේය අභිමානය යළි රැක ගනිමින්, බාලක ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව අද දිනා ගත්තේ ය. පබසර නිකු, පසිඳු කොඩිකාර, රවිශ්ක ඉන්ද්‍රජිත් සහ අරුණ දර්ශන ශ්‍රී ලංකාව නියෝජනය කළ හ. රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සඳහාගත කළ කාලය මිනිත්තු 3 යි තත්පර 8 යි දශම 7 යි 0 කි. මේ අතර මීටර් 400×4 බාලිකා සහය දීවීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකා කණ්ඩායම අද හිමි කර ගෙන තිබේ. ඉශාරා ආදිත්‍යා, සචිනි දිව්‍යාන්ජලී, දිල්ශි කුමාරසිංහ හා අමාශා ද සිල්වා එම ඉසව්ව සඳහා සහභාගී වූ අතර ඔවුන් තරගය අවසන් කළේ, මිනිත්තු 3 යි තත්පර 45 යි දශම 1 යි 6 ක කාලයකිනි. මේ අතර මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අමාශා ද සිල්වා එම ඉසව්වේ රිදී පද්කකම දිනා ගත්තේ මෙම ඉසව්වේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද වාර්තා කරමිනි. ඇය තත්පර 24 යි දශම 4 යි 7 ක දක්ෂතාවක් දක්වමින් තරගය අවසන් කළා ය. අද ජපානයේදී නිමාවට පත් වූ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමි කර ගැනීමට සමත් විය. එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට එක් වන්නේ, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව හිමි කර ගත් ඉහළම පදක්කම් සංඛ්‍යාව ලෙසයි. ශූරතාවලියේදී නව ආසියානු කණිෂ්ඨ වාර්තාවක් සමගින් නව ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තා 4 ක් බිහි කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි. දින 4 ක් පුරා ජපානයේ ගිෆූහිදී පැවැති ශූරතාවලිය සඳහා රටවල් 35 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 430 කට අධික පිරිසක් එක්ව සිටිය හ.