COLOMBO (News 1st) - මෙරට ටෙලිවිෂන් වංශ කතාවේ, නව්‍යකරණයේ පෙර ගමන්කරුවා වන සිරස ටී.වි. අද 20 වැනි සංවත්සරය සමරනු ලැබේ.
ඒ, නව්‍ය අකෘති සහිතව වැඩසටහන් පෙළ ගැස්ම ද අලුත් කරමිනි.
ටෙලිවිෂනයෙන් මෙරට ජනතාවට නැවුම් අත්දැකීම් තිළිණ කරමින් මීට දශක දෙකකට පෙර 1998 වසරේ අද වැනි දිනක, සිරස ටී.වී. නාලිකාව ආරම්භ විය.
ඒ 'සාමාන්‍යයෙන්, අසාමාන්‍ය' දෙයක් යන තේමාව යටතේයි.
ලාංකේය රූපවාහිනී කලාවේ තීරණාත්මක මං සළකුණක් සනිටුහන් කරමින් එදා ඇරඹි සිරස ටී.වී. නාලිකාව, නැවුම් ආකෘති ඔස්සේ විකාශය කළ වැඩසටහන් තුළින් මෙරට ජන විඥානයට ආමන්ත්‍රණය කළේය.
රස පූර්ණ දෙස් - විදෙස් ටෙලි නාට්‍ය හරහා පොදු ජන රසාස්වාදය ලබාදෙන සිරස ටී.වී. විකාශය කරන කලාත්මක, කාලීන, දේශපාලන වැඩසටහන් වටා අදටත් රොක්ව සිටින ප්‍රේක්ෂක ප්‍රජාව අති විශාලයි.
රියැලිටි ටී.වී. හෙවත් ප්‍රාසාංගික රූපවාහිනී අත්දැකීම් මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ද සිරස ටී.වී. නාලිකාවයි.
සිරස සුපර් ස්ටාර් වැඩසටහන හරහා ගම්දනව්වල සිටින දක්ෂයින් වෙනුවෙන් එදා සිරස ටී.වී. තැනූ වේදිකාවෙන් උපන් දක්ෂයින්, අද මෙරට ගායන ක්ෂේත්රය ආලෝකමත් කරමින් සිටී.
පුංචි පහේ මං ,සිරස ලක්ෂපති, පෙන්ටතලන්, ඩිබෙටර් වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක විචාර දැනුම වර්ධනය කිරීමට ද සිරස ටී.වී. පුරෝගාමී මෙහෙවරක නිරත විය.
ස්වභාවික විපත්, ආපදා වැනි අවස්ථා වලදී හුදී ජන සුබසෙත වෙනුවෙන් සිරස ටී.වී. කැපවුණේ විපතට පත් ජනතාවට ලෙංගතු නෑයෙකු වෙමිනි.
විවිධ බාධක, කුරිරු ප්‍රහාර හමුවේ නොසැලී 20 වසරක් ජනතා නාලිකාව ලෙස රැඳෙන්නට අපට ශක්තියක් වූයේ ප්‍රේක්ෂක ඔබයි.
අද, 20 වැනි වසරට පා තබන සිරස ටී.වී. නාලිකාවට නිව්ස්ෆස්ට් සුබ පැතුම්...!!