ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ගිය මාසයේ ආදායම රු. 537,500ක් ද?

by Staff writer 09-06-2018 | 8:51 PM
COLOMBO (News 1st) - තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පින්නවල අලි අනාථාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ප්‍රශ්නය - ඊයේ පාර්ලිමේන්තුවෙදී උපයන විට බද්ද අයින් කළා ද ඇමතිවරුන්ට? ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය "ඒකෙ විශාල විෂමතාවත් තිබුණා. මට පාර්ලිමේන්තුවේ මූලික වැටුප තියෙන්නේ 65000ක්. ඒ බදු ක්‍රමයට කැපෙනවා 75000ක්. එතකොට දෙනවට වඩා ඒකට කැපෙනවා. මම හිතන්නෙ ඒ ක්‍රමයේ යම් වරදක් තියෙනවා. අපි පාවිච්චි කරන වාහනයට යම් බද්දක් ගහනවා. කාර්යාලයේ උපකරණවලටත් බදු වදිනවා. මම හිතන්නේ ඒ ක්‍රමය ප්‍රායෝගික නෑ වගේ. මම හිතන්නෙ රජයේ නිලධාරීන්ටත් ඒක බලපානවා. අපේ ලේකම්ලට වගේ ඒක මන්ත්‍රීවරුන්ට විතරක් නොවේ. ඒක ප්‍රයෝගික ක්‍රමයකට සකස් වෙන්න ඕන" නමුත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව මාසික ආදායම රුපියල් 350,000ක් දක්වා උපයන විට අය කිරීම් බද්ද රුපියල් 30,000කි. ඉන් වැඩි වන මුදල සඳහා 24% ක බදු ප්‍රතිශතයක් අය කරනු ලබයි. ඒ අනුව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන මාසයේ ඔහුගේ මාසික ආදායම රුපියල් 537,500ක් විය යුතු යි.