මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාවෙන් ආධාර

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් ලක්ෂ 7ක ආධාර

by Staff writer 09-06-2018 | 7:05 AM
COLOMBO (News 1st) - මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා ඉදිරි දෙවසර තුළදී ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 7ක ආධාර ලබා දීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, මෙම නව ආධාර මගින් උතුරු පළාතේ මන්නාරම, වව්නතිව්, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වැදගත් වන අතිරේක ශක්‍යතාවක් සැපයෙනු ඇති බව ය. එමගින් විශාල පවුල් ප්‍රමාණයකට නැවත තමන්ගේ ඉඩම්වලට පැමිණීමටත් ජීවිත නැවත ආරම්භ කිරීමටත් ඉඩ ප්‍රස්ථා ලැබෙන බව එම කාර්යාලය සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ආධාර ලබා දෙන්නන් අතර ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර 2009 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 2 ක පමණ ආධාර මුදලක් ලබා දී ඇති බව ය. බිම් බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට 2017 වසරේ දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාව ද එකඟත්වය පළ කර ඇති අතර මේ වසරේ ජූනි පළමු වන දා සිට එය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.