ක්‍රීඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණය

ක්‍රීඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක් හේතුවෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

by Staff writer 09-06-2018 | 9:07 PM
COLOMBO (News 1st) - ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අද තවත් රන් පදක්කමක් දිනා ගත්තේ ය. ශූරතාවලියේ 3 වැනි දිනය වූ අද නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සමගින් ලෝකඩ පදක්කමක් ද ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. මේ අතර ක්‍රීඩා බලධාරීන්ගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මෙවර ශූරතාවලියේ මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ තවත් පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී ගියේ ය. ජාපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් හොංකොං කණ්ඩායමේ කාලය ලෙස සටහන්ව තිබුණේ, තත්පර 47කි. කෙසේ වෙතත් පසුගියදා නිමාවට පත් වූ දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 46.23 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවිණි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් කියා සිටියේ, එම කණ්ඩායම නියමිත පරිසාදන මට්ටම සපුරා නොමැති බව ය. නමුත් තත්පර 47 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත් හොංකොං කණ්ඩායමට අභියෝග කිරීමට මෙවර ශූරතාවලියට සහභාගී වීමට ඉඩ නොලැබුණු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබූ බව ක්‍රීඩා විශ්ලේෂකයින්ගේ අදහස යි. කෙසේ නමුත් ක්‍රීඩා බලධාරීන්ගේ හිතුවක්කාර තීරණ හේතුවෙන් මේ ගිලිහී ගියේ රන් පදක්කමක් ද විය හැකි ය. මේ අතර ශූරතාවලියේ 3 වන දිනය වූ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 3000 බාලිකා බාධක දිවීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූවා ය. එහිදී ඇය සිය පුද්ගලික හොඳ ම දක්ෂතාව වාර්තා කරමින් මිනිත්තු 10 තත්පර 21 යි දශම 5 යි 4 ක කාලයකින් තරගය අවසන් කළා ය. මේ අතර වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ දිල්ෂි කුමාරසිංහ මීටර් 800 බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ, එම ඉසව්ව සඳහා වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව ද අලුත් කරමින් වීම විශේෂත්වයකි. ඇය තරගය අවසන් කළේ, මිනිත්තු 2 යි තත්පර 4 යි දශම 5 යි 3 ක දක්ෂතාවක් දක්වමිනි. දිල්ෂි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 බාලිකා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් වූවා ය. ශූරතාවලියේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2 ක් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ.