කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඝාතනය කෙරේ

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 09-06-2018 | 6:28 AM
COLOMBO (News 1st) - කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල් සම්පත් මහතා වෙඩි තබා ඝතනය කර තිබේ. ඊයේ රාත්‍රී 10.30ට පමණ ගාල්ල කොරකීණ මන්සන්ධිය ආසන්නයේදී මෙම ඝාතනය සිදු වී ඇත්තේ, උප සභාපතිවරයා කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ය. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල් සම්පත් හා තවත් තිදෙනෙකු කැබ් රථයකින් ඌරගස්මන්සන්ධිය දෙස සිට කරන්දෙණිය දෙසට ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔවුන්ට වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනය සිදු කර පළා යමින් සිටියදී යතුරු පැදිය ද අනතුරකට ලක්ව ඇති බව ය. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලැබූ බව පවසා ප්‍රතිකාර සඳහා ඌරගස්මන්සන්ධිය රෝහලට ඇතුළත්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සැකකරුවන් පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා බව ය. 22 හැවිරිදි මාගල ගවරාගේ පුතා හෙවත් අසේල රණසිංහ නමැති ඔහු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී අපරාධකරුවන් පැමිණි යතුරු පැදිය, ටී 56 ගිනිඅවියක මැගසින් එකක් හා ජංගම දුරකතනයක් පොලීසිය භාරයට ගෙන ඇති අතර පොලීසිය සැක පළ කරන්නේ මෙය පාතාල කල්ලි දෙකක් අතර ඇති මත ගැටුමක ප්‍රතිඵලයක් බවට ය. මෙලෙස ඝාතනයට ලක් කෙරුණු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ බාල සහොයුරා මීට පෙර ගිනිඅවි ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. පොලීසිය පවසන්නේ, ඝතනයට ලක් වූ උප සභාපතිවරයා හා දකුණේ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකන කොස්ගොඩ සුජී අතර කලක සිට පැවති මිතුදම මීට කලකට පෙර විරසකයක් දක්වා දිග්ගැසී ඇති බව ය. පාතාල කල්ලි ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය කාලයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුට ම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. ඊට ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, පසුගිය මස 24 වන දා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වූ රන්ජිත් ද සිල්වා පාතාල කල්ලියක වෙඩි තැබීමකින් ඝතනයට ලක් වීම ය.