යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 08-06-2018 | 5:01 PM
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහු ප්‍රතිකාර ලබන ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණ ලබා දුන් නියෝගයකට අනුව ය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යශෝධ රංගේ බණ්ඩාර මහතා අද අලුයම ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ය. පෙරේදා අලුයම යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙක් තුවාල ලැබූහ. එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පැවසුවේ ය. අනතුර සිදු වූ අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් කළ කැබ් රථයේ තිබී කඩුවක් ද සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.