හේම නලින් කරුණාරත්න දැයෙන් සමුගනියි

ප්‍රතිභාපූර්ණ නිවේදන කෞෂල්‍යයෙන් රසික සිත් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න දැයෙන් සමුගනියි

by Staff writer 08-06-2018 | 6:02 PM
COLOMBO(News 1st) - ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ රූපවාහිනී පූරකවරයෙකු වූ අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දහවල් සිදු කෙරිණි. ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදී ය. හේම නලින් කරුණාරත්න මහතා මාලඹේ මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වුණේ, පසුගිය 5 වන දා ය. මොළය අභ්‍යන්තරයේ සිදු වූ රුධිර වහනයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 56 වන වියෙහි පසු විණි. රූප පෙට්ටියට නව වැඩසටහන් ආකෘති හඳුන්වා දුන් ඔහු, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. එදා මෙදා තුර තමාටම අනන්‍ය වූ රීතියකින් පූරක වෘත්තීයට ජීවය දුන් හේම නලින් කරුණාරත්න මහතා අද අවසන් ගමන් ගියේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරි කරමිනි.