කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

by Staff writer 08-06-2018 | 7:34 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 31ක් රැස් කරගෙන සිටියේය. කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණය පැවැත්වෙන තරගයට ඊයේ දිනයේදී අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා එල්ල විය. දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246 කි. ශේන් ඩොව්රිච් සහ දේවේන්ද්‍ර බිෂෝ නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. ඔවුන් දෙදෙනා අතර සත්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 102කි. බිෂෝ ලකුණු 40ක් රැස් කළේය. අනතුරුව කෙමර් රෝච් සහ ශේන් ඩොව්රිච් බටහිර ඉන්දිය කොදෙව් 8 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනැගුවේය. කෙමර් රෝච් ලකුණු 39ක් ලබා ගත්තේය. ඩොව්රිච් තම මංගල ටෙස්ට් ශතකය ඊයේ වාර්තා කිරිමට සමත් විය. ඔහු නොදැවී ලකුණු 125ක් රැස් කළේ හතරේ පහර 12ක්ද සමගිනි. ලහිරු කුමාර පන්දුවාර 31කදී ලකුණු 95කට කඩුලු 4ක් දවා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 414ක් රැස් කරගෙන සිටියදී ය. අනතුරුව කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේය. කුසල් ජනිත් පෙරේරාට ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ ලකුණු 4කි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 11කට දැවී ගියේය. ශ්‍රී ලංකා මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 30කදීය.