ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය

ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 3ක්

by Staff writer 08-06-2018 | 4:26 PM
COLOMBO (News 1st) - ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙමිනි. ජපානයේ ගිෆූහිදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය වූ අද, මීටර් 400 බාලක අවසන් තරගය කාගෙත් අවධානයට ලක්විණි. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අකුරම්බොඩ වීර කැප්පැටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන හා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර ඊට සහභාගී වීම හේතුවෙනි. අරුණ මෙහිදී විශිෂ්ට ධාවනයක යෙදෙමින් වසර 12ක් පැරණි කනිෂ්ඨ ආසියානු වාර්තාව තමා සතු කර ගැනීමට සමත් වුණේ, වසර 6කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු රන් පදක්කමක් ද ලබා දෙමිනි. තත්පර 45.79 ක කාලයක් වාර්තා කළ දර්ශන, මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම ඉසව්වෙන් දැක්වූ ඉහළ ම දක්ෂතාව දැක්වීම ද විශේෂත්වයකි. පසිඳු කොඩිකාර තත්පර 46.96 ක කාලයක් වාර්තා කරමින් මෙහි රිදී පදක්කමට හිමිකම් කීවේ මෙම වසර තුළ තත්පර 47 ට අඩු දක්ෂතාවක් දැක්වූ දෙවැනි අවස්ථාව සටහන් කරමිනි. මේ අතර එහි බාලිකා ඉසව්වට වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ සහභාගී වූවා ය. ඩිල්ෂි ද පුද්ගලික හොඳ ම දක්ෂතාව දක්වමින් මෙම ඉසව්වේ රිදී පදක්කම සතු කර ගැනීම විශේෂත්වයකි. තත්පර 54.03ක දක්ෂතාවක් දැක්වීමට ඇය සමත් වූ අතර ඉන්දියාවේ ජිස්නා මැතිව් තත්පර 53.26 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තා ය. අද ශ්‍රී ලංකාවට හිමි වූ අනෙක් පදක්කම හිමි කර ගත්තේ, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා යි. ඇය මීටර් 100 බාලිකා ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කම හිමි කර ගත්තේ, තත්පර 11.71 ක් වූ පුද්ගලික හොඳ ම දක්ෂතාව දක්වමිනි. ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ තරගාවලි 17ක් තුළ ශ්‍රී ලංකාව ලබා සිටියේ, රන් පදක්කම් 4 ක් ඇතුළුව පදක්කම් 20ක් පමණක් වන අතර අද ලබා ගත් පදක්කම් 4 මළල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව මෑත කාලයේදී වාර්තා කළ විශිෂ්ට දක්ෂතාවක් ලෙස සැලකිය හැකි .