by Sagarika Chathumali 07-06-2018 | 4:22 PM
COLOMBO (News 1st) : නිරිතදිග මෝසම සක්‍රිය වීම ත් සමග අනෝරා වැසි වැටීම ලක් පොළොවට අරුම පුදුම අලුත් සිදුවීමක් නොවන අතර අතීතයේ සිට ගොවි ජනතාව නිරිතදිග මෝසම භාවිත කළේ, මහ කන්නයේ ගෙවිතැන් කර ගැනීමට මිස ගෙවල් දොරවල් ගංවතුර බිලි දීමට නොවේ.
එහෙත් දැන් ඒ සියල්ල වෙනස් වී හමාර ය.
වරද මහ වැස්සේ නොව අහසින් වැටෙන මහා දිය කඳ පුරවා ගන්නට රට තුළ වැව්, අමුණු නිසි ලෙස පිළිසකර වී නොතිබීමත් අතිරික්තය අපහසුවකින් තොරව මුහුදට ගලා යන්නට නිසි ක්‍රමවේදයක් සකසා නොතිබීමත් ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පසුගිය සති කිහිපයේ අපේ රටේ සක්‍රීයම ආයතන කිහිපය බවට පත්ව තිබූ අතර වේදිකා දෙවනත් කරමින් එකිනෙකාට අවලාද කියා ගන්නා දේශපාලකයින්ගේ නම් කිසිදු හාවක් හූවක් නොවී ය.
පිරිසක් කාලගුණ අනාවැකි කියද්දී, තවත් ආයතනනයක් නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර තවත් පිරිසක් මියගිය විපතට පත් පිරිසගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට පෙනී සිටියේ ය.
එහෙත් අද ස්වභාව ධර්මය වැස්ස කළමනාකරණය කරන තුරු දත නියවා සිටී නම්, ආපදා කළමනාකරණයට අමාත්‍යංශය අවශ්‍ය වන්නේ නැත.
අවශ්‍ය වන්නේ, ආපදා ඇතිවීම වැළැක්වීමේ අමාත්‍යංශක් පිහිටුවීමයි. පසුගිය දා සැකසූ ඇමති මණ්ඩල සංශෝධනයේ විද්‍යාත්මක ක්‍රමයට හෝ මේ විෂය හසු නොවුණේ, ඇයි ද යන්න විමතියට කරුණකි.
අහිංසක මිනිසුන් ගංවතුරින් පණ කෙන්ද රැක ගන්නට අත්වැලක් සොයද්දී දියවන්නාවේ ඇත්තන් ගංවතුර ගැන විශේෂ විවාද ඉල්ලා එතැන එකම ගාලගෝට්ටියකි.
2017 වසරේ මැයි මාසයේ මෙලෙසින් ම මේ දිනවල රටට ගංවතුර ගැලුවේ ය.
විශේෂ විවාද නොව මීට හරියටම අවුරුද්දකට මේ දිනවලම ඇති වූ ගංවතුරින් ජීවිත 200කට වැඩි සංඛ්‍යාවක් ගංවතුරේ ගසා ගෙන ගිය බව දියවන්නාවේ ඇත්තන්ට අමතක වී තිබීම පුදුමයට කරුණක් නම් නොවේ.
දියන්නාවේ ඇත්තන් ගංවතුර විවාද ඉලද්දී ජනතාවට ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ, පසුගිය වසරේ මහ ගංවතුරින් පසු යළි එවැනි විනාශයක් සිදු නොවීමට ඔවුන් සිදු කළේ මොනවා ද යන්න විමසීමයි.
මහ වැව් නොව එක කුළු වැවක හෝ පාසි, රොන් මඩ ඉවත් කර තවත් එක් අඟලකින් හෝ වැවක ගැඹුරක් වැඩි කිරීමට කැප වී ක්‍රියා කළ දේශපාලකයෙක් සිටී ද?
ඒවා කරන්නට තරම් බලයක් නැති නම් අඩුම තරමේ ඉදිරි ගංවතුර ගැන සිතා කාණුවක් හො සුද්ද කළ ගමේ දේශපාලකයෙකු සිටී නම් ඒ අතක ඇඟිලි ගණනට වඩා අඩු ප්රමාණයකි.
දැන් දේශපාලකයින් ඇතුළු වගකිවයුත්තන්ට ජනතාව හමුවේ කියන්නට ඇත්තේ, "ජනතාවනි, බිය නොවන්න ඩෙංගු මදුරුවා හෙට අනිද්දා ම ඔබේ ජීවිතවල ඉරණම විසඳා දේවි'' යන්නයි.
ලබන වසරේ නිරිතදිග මෝසමට කලින් යමක් නොකරන්නේ නම්, අඩුම තරමින් මැයි මාසය ගංවතුර මාසය ලෙස නම් කිරීමට ක්‍රියා කළ හොත් ජනතාවට කල්වේලා ඇතිව ජීවිතය බේරා ගැනීමට අවදානමක් නැති තැනක කූඩාරමක් හෝ තනාගත හැකි ය.
https://www.facebook.com/NewsfirstSL/videos/1971869539539961/