මිහින් ලංකා පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ ගෝඨාභය බව හෙළිවෙයි

by Staff writer 07-06-2018 | 8:15 PM
COLOMBO (News 1st) - මිහින් ලංකා පෞද්ගලික සමාගම සංස්ථාපනය කර ඇත්තේ එහි ආරම්භක අධ්‍යක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව අද අනාවරණය විය. ඒ, ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් සහ ශ්‍රීලංකන් කේටරින් සමාගම්වල අක්‍රමිකතා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ සාක්ෂි විමසීමේදී ය. ජනාධිපති කොමිසම අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නියෝජිත ඉන්දික ගුණවර්ධන මහතා සාක්ෂි දුන්නේ ය. ඔහු කියා සිටියේ, 2006 වසරේ ඔක්තෝබර් 25 වන දින මිහින් ලංකා පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අයැදුම් පතක් යොමු කර තිබූ බව ය. නමුත් එහි දෝෂ ඇතැයි සටහනක් එවක සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් යොදා තිබූ බව ඔහු අනාවරණය කළේ ය. අයැදුම් පත්‍රයේ සමාගමේ ලේකම් ලෙස අත්සන් තබා ඇත්තේ, එස්.එස්. කන්සල්ටන්ස් සහ කෝපරේට් සෙක්‍රට්‍රීස් නමැති සමාගම යි. එහි අයැදුම් කරන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස අත්සන් කර තිබූ බව ද සාක්ෂිකරු කියා සිටියේ ය. ඉන්දික ගුනවර්ධන මහතා පැවසුවේ මිහින් ලංකා සමාගමේ අයැදුම් පත්‍රයේ ප්‍රකාශක ලෙස ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් කර තිබූ බව ය. කෙසේ වෙතත් සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය 2006 ඔක්තෝබර් 27 වන දා නිකුත් කර තිබේ. මිහින් ලංකා සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරු ලෙස ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය පී.බී ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු කටයුතු කළහ. අද අනාවරණය වූයේ, සංස්ථාපනය කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සාමාජික ගණන 5ක් විය යුතුව තිබුණත් මිහින් ලංකා සමාගමේ ඒ වන විට අධ්‍යක්ෂ මණ්ඩලය සිව් දෙනෙකුට සීමා වූ බව ය. 2008 වසරේ සමාගම් රෙජිස්ට්‍රාර් ලේඛනවල මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවේ. 2006 සිට 2014 ජුනි 27 වන දා දක්වා ලංකා පුත්‍ර බැංකුව හා මහා භාණ්ඩාගාරය මිහින් ලංකා සමාගමට වරින් වර රුපියල් බිලියන 14.4 ක ආයෝජන සිදු කර ඇති බව ද ජනාධිපති කොමිසම හමුවේ හෙළි විය. මිහින් ලංකා සමාගම කොමිසමේ පරීක්ෂාවට ලක්වන කාල සීමාවේ රුපියල් බිලියන 17 කට අධික පාඩුවක් ලබා තිබූ අතර සමාගමේ විවිධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 කට අධික ය. 2016 පළමු මාස 6 ඇතුළත සමාගමේ පාඩුව රුපියල් මිලියන 181කි.