බැඳුම්කර මගඩියේ තවත් හෙළිදරව්වක්

by Staff writer 07-06-2018 | 5:00 PM

COLOMBO (News 1st) : මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අවස්ථා තුනකදී රුපියල් මිලියන 3.2 ක චෙක්පත් නිකුත් කර ඇතැයි, අද අධිකරණයේදී අනාවරණ විය.

බැඳුම්කර වංචාව පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේදී කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, මහ බැංකුව මහේන්ද්‍රන් මහතාට නිකුත් කර තිබූ සිමා රහිතව වියදම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පතෙන් සිදු කළ පෞද්ගලික වියදම් පියවිම සඳහා එම මුදල් වැය කර ඇති බවයි. අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ලේකම්වරියවූ අමිලා දහනායක , මෙම චෙක්පත් මාරු කිරීම සඳහා කාර්යාල කාර්ය සහකයෙකුට ලබා දී ඇති බව ද අද අධිකරණයේදී අනාවරණ විය. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයෙකුට අවස්ථා 2 කදී රුපියල් මිලියනය බැගින් චෙක්පත් 2ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් නිකුත් කරනු ලැබ ඇතැයි ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය දැනුම් දුන්නේ ය. ඉන් එක් චෙක් පතක් නිකුත් කර ඇත්තේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2016 වසරේ මාර්තු 31 වන දිනයි. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇතැයි ද අධිකරණයේදී අනාවරණ විය. මීට පෙර අධිකරණයේදී මුදල් ගෙන ඇතැයි, අනාවරණ වූ මන්ත්‍රීවරයා තවත් රුපියල් මිලියනයක චෙක්පතක් ලබා ගෙන ඇතැයි ද අධිකරණයේදී හෙළි විය. නඩුවේ සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.