ප්‍රමිතියෙන් තොර ටින් මාළු විශේෂ 28ක් වෙළෙඳපොළේ

ප්‍රමිතියෙන් තොර ආනයනික ටින් මාළු විශේෂ 28ක් වෙළෙඳපොළේ

by Staff writer 07-06-2018 | 10:19 PM
COLOMBO (News 1st) - ප්‍රමිතියෙන් තොර ආනයනික ටින් මාළු විශේෂ 28ක් මේ වන විට වෙළෙඳපොළේ පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට ගෙන්වන ටින් මාළු පරපෝෂිත ආසාදනයකට ලක්වී ඇති බවට පසුගිය දිනවල විවිධ පාර්ශව චෝදනා කළේ ය. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අප්‍රේල් මස 11 වන දා සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද ටින් මාළු තොග බහාලුම් 60ක් පරීක්ෂාවට ලක් කළ බව ය. ඒවායින් ලබා ගත් සාම්පල් 184න් 149ක් පරපෝෂිත ආසාදනයන්ට ලක්වූ ටින් මාළු බවට තහවුරු කරගෙන ඇති අතර, එම බහාලුම් සියල්ල ආනයනය කරන රටවලට ම ආපසු යැවීමට කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. එමෙන් ම ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳපොළේ විකිණීමට ඇති ටින් මාළු ද පරීක්ෂාවට භාජනය කර අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.