ගුරු සේවයට උපාධිධාරීන් පිරිසකට පත්වීම්

ගුරු සේවයට උපාධිධාරීන් පිරිසකට පත්වීම්

by Staff writer 07-06-2018 | 11:01 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත් ගුරු සේවයට උපාධිධාරීන් 494 දෙනෙකු අද බඳවා ගැනේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 2014, 2016 සහ 2017 වර්ෂවල පැවති තරග විභාගවලින් ඉහළම ලකුණු ලබා ගත් උපාධිධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙලේ තව ත් අදියරක් ලෙස මෙම නව පත් කිරීම් සිදුවනු ඇත. ඒ අනුව වාණිජ විෂය සඳහා ගුරු පත්වීම් 147 ක් කලා විෂයන් ඉගැන්වීම සඳහා උපාධිධාරීන් 75ක් ගණිත විෂය සඳහා උපාධිධාරීන් 67 ක් විද්‍යා උපාධිධාරීන් 62 ක් දෙමළ මාධ්‍ය උපාධිධාරීන් 81 දෙනෙකු සදහා අද ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙනු ඇති. ඊට අමතරව චිත්‍ර විෂය සඳහා උපාධිධාරීන් 40 ක් තොරතුරු තාක්ෂණය සඳහා උපාධිධාරීන් 16 දෙනෙකු පෙරදිග සංගීතය සඳහා උපාධිධාරීන් 3 ක් නර්තනය සඳහා උපාධිධාරීන් 3 ක් වශයෙන් අද දින නව ගුරු පත්වීම් ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර පළාත අධ්‍යාපන කලාප 11 කින් සමන්විත වන අතර අධ්‍යාපන කොට්ඨාස 38 තුළ පාසල් 1288 ක් පිහිටා තිබේ. එම පළාත තුළ සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 750,000 ක් පමණ වන අතර මුළු ගුරුවරුන් සංඛ්‍යාව 35,147 කි. 2015 වර්ෂයේ සිට මේ දක්වා බස්නාහිර පළාත තුළ ලබාදී ඇති ගුරු පත්වීම් සංඛ්‍යාව 2822 ක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.