ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයට ආ නියෝගය...

ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද යළි ගණන් කිරීමට නියෝගයක්

by Staff writer 07-06-2018 | 10:20 AM

COLOMBO (News 1st) - ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද යළි ගණන් කිරීමට එරට පාර්ලිමේන්තුව නියෝග කර තිබේ.

ඒ, මැතිවරණයේදී අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා පළවීමෙන් අනතුරුවයි. අවතැන්වූවන්ගේ සහ විදේශිය රටවල සිටින පුද්ගලයින්ගේ ඡන්ද අවලංගු කිරීමට ද එරට පාර්ලිමේන්තුව කටයුතු කළේ ය. ඊට අමතරව එරට මැතිවරණ කොමිසමේ නායකත්වය ද වෙනස් කර තිබේ. ආරක්ෂක ඒජන්සි සතුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සාක්ෂි ඇති බවට ඉරාක අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාඩි ඊයේ අනතුරු ඇඟව්වේ ය. ඔහු සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමට විද්‍යුත් යන්ත්‍ර භාවිතා කිරීම මෙම අක්‍රමිකතාවන්ට හේතු වූ බවයි. ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 328 න් වැඩිම ආසන සංඛ්‍යාව වන ආසන 54 ක් දිනාගැනීමට ෂියා මුස්ලිම් පූජක මුක්තාදා සාදර්ගේ ජාතිවාදී සන්ධානය සමත් විණි. අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාඩිගේ සන්ධානයට දිනාගැනීමට හැකිවූයේ ආසන 42 ක් පමණි. මැතිවරණ ප්‍රතිඵල පිළිගෙන සන්ධානගත නව ආණ්ඩුවක් පිහිටුවීමට කැමැත්තෙන් පසුවුව ද ඉරාකයේ ආරක්ෂක සහ දූෂණ මර්දන ප්‍රධානීන්ගේ වාර්තාවක් අධ්‍යයනය කිරීමෙන් පසු ඡන්ද යළි ගණනය කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.